Monday, July 18, 2016

අතීතය nightmareක්

ඉස්සර ශිෂ්‍යත්ව පන්ති ගිය කාලෙ, ඒ තරං එපා වෙච්ච දෙයක් තිබ්බෙ නෑ තවත්. අවුරුදු තුනක් සතියට දවස් තුන ගාණෙ කිලෝමීටර් 10ක් (google map එකෙන් බැලුවෙ) වෑන් එකෙයි බස් එකෙයි යන්න වුණාම අවුරුදු 9ක ළමයෙකුට කොච්චර එපා වෙනවද කියල හිතාගන්න පුළුවන්නෙ.

ඊළඟට සාපෙ. ඇත්තටම සාපයක් තමා ඒකනං. කෘෂිකර්මයට ඇරෙන්න අනිත් ඔක්කොටම පන්ති තිබ්බා හැමදාම (බුද්ධාගමට ඉරිදට දහම්පාසල් ගියානෙ ඉතිං). සාපෙදි නං පන්ති යන එකට එච්චර අකමැත්තක් තිබ්බෙ නෑ ඉතිං. එකක්, පයින් යන දුර. අනික, ගියෙ එයා එනවද බලන්නනෙ.

උසස්පෙළ ගැන නං කතා කරල වැඩක් නෑ. හිතට තිබුණ වදේ කොච්චරක්ද කියල උසස්පෙළ කරපු උං දන්නව ඇතිනෙ. කවදද ඉවර වෙන්නෙ කියල බලාගෙන හිටියෙ. ඒ වගේම තමා ඉවර වුණාම දැනුන සන්තෝසෙත්.

ඔය ඔක්කොමත් හරි, ඉස්කෝලෙ ගමනත් හරි. දවසට කිලෝමීටර් හතළිහක් බස් එකේ. ලොකු ඉස්කෝලෙ ගිය අවුරුදු අට ඇතුලත ගිය දුර ගණන් කරාම ඒක ලෝකෙ වටේ දෙපාරක් යන තරම් දුර (80,000km). එකම පාරෙනෙ හැමදාම. කවදද ඉවර වෙන්නෙ කියල බලාගෙන හිටපු එකේ වැරැද්දක් නෑ එතකොට.

ඕනම කෙනෙක්ගෙන් ඇහුවොත් කියාවි, "ඉස්කෝලෙ කාලෙ තමා ආතල්ම". හැබැයි මං නං කියන්නෙ ඒක තමා ජීවිතේ එපාම කරපු කාලෙ. උසස්පෙළ කරන එකෙක්ගෙන් අහල බලන්න "ඕලෙවල් අමාරුද ලේසිද?" කියල. ඌ අනිවා කියයි "ඕලෙවල් කියන්නෙ පට්ට ලේසි විභාගයක්" කියල. මොකද ඌට මතක නෑ ඒකාලෙ සාපෙ ලියන්න ඉද්දි කොච්චර අමාරුවට දැනුනද කියල ඒක. අපි සාපෙළ කරපු කාලෙත් උසස්පෙළ කරපු හැමෝම කියපු කතාවක් තමයි සාපෙළ කියන්නෙ ලේසි විභාගයක් කියන එක. අපිනෙ දන්නෙ අපිට තිබ්බ අමාරුව. ගණන් නං හැබැයි එදත් අවුලක් තිබ්බෙ නෑ. කවිද, ඉතිහාසෙද, චලිත සමීකරණද ඔය අනංමනං කීයක් නං තිබ්බද මතක තියාගන්න? ඒ කාලෙ මටම වෙච්ච පොරොන්දුවක් තිබ්බා, මං උසස්පෙළ කරන කාලෙක ඒක කොච්චර අමාරු වුණත් කවදාවත් සාපෙළ ලේසියි කියලනම් කියන්නෙ නෑ කියල. කියන්න සන්තෝසයි අදටත් ඒ පොරොන්දුව නං කඩලා නෑ.

ඉස්කෝලෙ යද්දි එද්දි කරපු දේවල්වත්, හවසට සෙට් වෙලා සෙල්ලම් කරපුවාවත් නෙමේ මේ කියන්නෙ, ඉස්කෝලෙයි, පන්තියි ගැන. ඉගෙන ගන්න කිසිම ආසාවක් නැතුව අවුරුදු දහතුනක් විඳපු දුක ගැන.

ආයෙත් යන්න අවස්ථාවක් ලැබුණොත්, කව්රු ගියත් මං නං යන්නෙ නෑ ඒ අතීතෙට. මං කියන්නෑ ඒ කාලෙ වැඩක් නෑ කියල. අනිවාර්යයෙන්ම ඒ අත්දැකීම් හේතුවෙන්න ඇති අද මේ ඉන්න (සාර්ථකයි කියන්න පුළුවන්) තත්වෙට එන්න. මං කියන්නෙ එපාවුණා කියල විතරයි.

උසස්පෙළෙන් පස්සෙ වැඩට ගිය කාලෙත් කාන්තාරෙ ඇවිදිනවා වගේ අරමුණක් නැති, උදේ අටේ ඉඳන් හවස හත වෙනකන් දවස් හතම වැඩ කරපු විවේකයක් නැති කාලයක් වුණාට ඒ කතරට හැමදාම වැටිච්ච වැස්සක් තිබ්බා. කවදාවත් එපා වුණේ නං නෑ ඒක. අදටත් තාමත් ආසයි ආපහු යන්න ඒ කාලෙට.

ඔය විදියට බලනකොට කව්රු කොහොම වැඩ වැඩියි කිව්වත්, ජීවිතේ මුල් අවුරුදු තුන ඇරුණම දැන් තමා ජීවිතේ නිදහස්ම කාලෙ. මොනාහරි කරල අතට ගන්න කීයකින් හරි කාලා බීලා, කාටවත් බරක් නොවී කැමති දෙයක් කරගෙන, fb පෝස්ට් දදා ජීවත් වෙන්න පුළුවන් මේ වගේ කාලයක් ආයෙත් එන එකක් නෑ. හැබැයි ඒ කොච්චර උනත් හිත ඉල්ලන්නෙ මේකෙනුත් අයින් වෙන්න. "වෙන්නෙ" නම් රස්සාවක් කරන්න, ඒත් "ඕන" ලෝකෙ වටේ ඇවිදින්න. බලමු. දවසක් ඒවි. ජීවත් වෙලා හිටියොත් මොනාමහරි වේවි.

Watching අතීතය, ඍණාත්මක දෑසින්.....

No comments:

Post a Comment