ඉස්සර ගොඩක් දවස්වලට ඉස්කෝලෙ ඇරිලා ඇවිත් පන්සල පැත්තට යන්නෙ දානශාලාවෙ තියෙන දෙයක් මොනාහරි කාල බීලා, පන්සලේ මොනාහරි වැඩකට උදව් කරලා රෑ වෙලා ගෙදර යන්න.
දවසක් මමයි තව එකෙකුයි ඉන්න වෙලාවක පන්සලට අල්ලපු වැටේ ඉන්න ඇන්ටි කතා කළා.
"වෙලේ කාණුවක් කපා ගන්න ඕන. මට මේ දවස් වල මඩේ යන්න බැහැ, කකුලෙ තුවාලයක්. මොකද කියන්නෙ?"
"කපල දෙන්නං. හැබැයි නිකං නං බෑ, කීයක්හරි ඕන".
"සීයක් දෙන්නං".
"එක්කෙනෙක්ට සීය ගාණෙ දෙසීයක් ඕන".
"වැඩේ හරියට කරොත් දෙන්නම්".
අපි වැඩේ කරා. දෙසීයක් වටින්නෙ නැතිවුණත් දෙසීයකුත් ලැබුණා.
මං මටම කියල හම්බකරගත්ත පළවෙනි ආදායම වෙච්චි ඒ සීය කාලයක් යනකං පර්ස් එකේ වෙනම සාක්කුවක ඉතුරු වෙලා තිබ්බා. ඒක වියදම් කළේ මොකටද කියල මතක නෑ. හැබැයි දැන් අවුරුදු පහ හයක් ගිහිල්ලත්, පොඩිවෙලා දුඹුරුපාට වෙලා තිබ්බ ඒ සීයෙ කොළේ හිතේ නං එහෙම්මම ඉතුරුයි.
No comments:
Post a Comment