Friday, May 12, 2017

පරම සත්‍යය

ශිෂ්ඨාචාර ආරම්භ වුණ කාලයේ ඉඳන්ම මිනිස්සු හෙව්වෙ ජීවිතයේ පරමාර්ථය. "ඇයි?" තමා ප්‍රශ්නය. සමහරු නං හෙව්වෙ ජීවිතේ පහසු කරගන්න ක්‍රම. විද්‍යාඥයන්, නව නිර්මාණකරුවන් වුණේ එයාලා. ජීවිතයේ අරමුණ හොයපු අය හෙව්වෙ "සත්‍යය". අපි කව්ද? අපි මේ මොනවද කරන්නෙ? සතුට කියන්නෙ මොකක්ද? දුක නැති කරන්නෙ කොහොමද? ඒ අය හෙව්වෙ ඔය වගේ දේවල්. දාර්ශනිකයන්, ශාස්තෘවරුන් වුණේ ඒ අය.

ඒ කාලෙ ඉඳන්ම බුද්ධිමත් මිනිස්සු විවිධ අදහස්, තර්ක ඉදිරිපත් කළා සත්‍යය ගැන. යම් තරමකට බුද්ධියක් තිබ්බ මිනිස්සු ඒ අදහස් අනුමත කරලා පිළිගත්තා. ඒතරම් බුද්ධිමත් නොවුණු පිරිසත් අනිත් අය පිළිගත්තු නිසා පිළිගත්තා. ඔය වගේ බිහිවුණු ප්‍රධාන දර්ශන වල විශේෂත්වය වුණේ ඒ ඒ සමාජයන් වල ඒ වෙනකොට ගොඩ නගාගෙන තිබුණ දැනුම පද්ධති වලින් ඒ අදහස් ඇත්ත බව සාධනය කරන්න පුළුවන් වුණ එක, හෝ වැරදි බව සාධනය කරන්න බැරි වුණ එක. ඒ වගේම ඒ හැම දර්ශනයටම පොදු දෙයක් තිබුණා. ඒ තමයි ඒ දර්ශනය අනිත් සියල්ලටම වඩා උසස්, සහ එතනින් එහාට දෙයක් නෑ කියන එක.

කෙනෙකුට පුළුවන් වේවි සත්‍යය තේරුම් ගන්න. එයාලා අනිත් අයට ඒ දේවල් කියලත් දේවි. ඒත් එතකොට මට එන ප්‍රශ්නය මේකයි. අපි කොහොමද ඒක පිළිගන්නෙ?

අපි අපේ මට්ටමේ ඉඳගෙන, ඊට ඉහළ මට්ටමක කෙනෙක් කියන දෙයක හරි වැරදි දකින්නෙ කොහොමද? ඒ දේ වැරදි බව පෙන්නන්න පුළුවන් එයාටත් වඩා ඉහළ මට්ටමක කෙනෙක් නෑ කියල විශ්වාස කරන්නෙ කොහොමද? කවදාවත් ඒ දර්ශනය සත්‍යය නෙමේ කියල ඔප්පු නොවෙයි කියල කියන්න පුළුවන්ද? ශතවර්ෂ ගණනක් ඇත්ත කියල පිළිගත්ත දේවල් කොච්චර නම් බොරු කියල ඔප්පු වෙලා ඇත්ද? එතකොට කෙනෙකුට තමන් හරියි කියලා පිළිගත්ත දේ හරියි කියලා සීයට සීයක් විශ්වාස කරන්න පුළුවන්ද?
පරම සත්‍ය, පරම සත්‍යයම බව  ඔප්පු කරන්නෙ කොහොමද?

Monday, May 1, 2017

නිරයට ආ කැලෑ කොල්ලා

ගමෙන් නගරයට ආ තරුණයෙකුට නගරයේදී අත් විඳින්නට සිදුවූ තරඟකාරී ජීවන රටාව පාදක කොටගෙන සිව්පද ආරෙන් ලියැවුණු "නිරයට ආ කැලෑ කොල්ලා" පද්‍ය පන්තිය පාඨක සමාජයට පැහැදිලි පණිවිඩයක් යොමු කරන්නකි.
කවි පහකින් සමන්විත සමස්ථ නිර්මාණය තුළ යන්තම් කියවන්නෙකුට කිසිසේත් නොවැටහෙන නමුත් සැබෑ රස විඳින්නෙකුගේ සිත නිරුවත් කරන්නට සමත් සැඟවුණු අර්ථ බොහොමයකි.

කුඩා කල සිට අලුත් ලොවකට පාරමී පුරලා
කඩුල්ලෙන් පැන කැලෑ කොල්ලෙක් දොර විවර කරලා
නේක විසිතුරු දිවිය විමනක් දෑස් පෙම් බැඳලා
උනුන් පරයා හැල්මේ දුවනා නිර ලොවක බැසලා

තරුණයාගේ නගරාගමනය අහම්බයක් නොවේ. කුඩා කල සිටම තම අනාගතය ඇත්තේ ගමෙන් පිට බව ඔහු දැන සිට ඇත. ඔහු විසින් අනුගමනය කෙරුණු ක්‍රියා පිළිවෙළ හඳුන්වන්නට, සසර කෙළවර කරන්නට තැත් කරන ආර්යයන් වහන්සේලා විසින් පුරුදු පුහුණු කරන කුසල් සඳහා යෙදෙන "පාරමී" යන වචනය භාවිතා කිරීමෙන්ම සිය අරමුණු සපුරා ගැනීමට කුඩා කළ සිට ඔහු කළ කැප කිරීම් මොනවට පැහැදිළිය.

පාරමී පුරන්නට ඇත. නමුත් පනින්නට සිදුවූ කඩුල්ල කුමක්ද? කඩුල්ලක්, පනින්නට අමාරු නැත. නමුත් නොපැන යන්නටද නොහැක. රැකියාවකට නගරයට ආ අයෙකුට නම් බොහෝවිට සම්මුඛ පරීක්ෂණය එවැනි සංධිස්ථානයකි. නමුත්, කුඩා කල සිට තිබූ බලාපොරොත්තු අනුව රැකියාවකට සිය ගම හැර දමා ඒම බොහෝ විට වැඩිහිටියෙකු විසින් සිදු කරන්නකි. නමුත් රචකයා සිය කතා නායකයා හඳුන්වන්නට යොදන "කොල්ලා" යන යෙදුමෙන් කතා නායකයා තවමත් ළමාවිය නොඉක්මවූවකු බව හඟවයි. එසේ නම් කඩුල්ල, සම්මුඛ පරීක්ෂණයක් නොව කඩයිම් විභාගයක් වියයුතුය. ඒ වෙනුවෙන්ම කැප කිරීම් කළ අයෙකුට එය කඩුල්ලක්ම මිස එතරම් අමාරු දුර්ගයක් නොවේ.

නගරය දිව්‍ය විමානයක් ලෙස දැක කොතරම් ආසාවෙන් පැමිණියද, තරඟකාරීත්වයට හසුවූ ඔහුට දැන් එය නිරයක් බව ද කවියා පවසයි.

සතර අත වෙත වනන්නට නෑ කඩුව ඔහු දෑතේ
දුබලයා හට කෙසේවත් නැත මෙහි ඉඩක් ඇත්තේ
හිවල් රැලකගෙ කුයිල ආවත් බලන හැම පැත්තේ
නිවට බියගුළු වන්න සිත් නෑ නගුල හුරු දෑතේ

තමන්ට ඉංග්‍රීසි එතරම් හුරු නැත. තම ඉංග්‍රීසි හැකියාව දුබලය. දුබලයාට මෙහි තැනක්ද නැත. කෙනෙහිලිකම්ද බොහෝය. නමුත් අතාරින්නට සිතක් නැත. වෙහෙසට ඔරොත්තු දෙන තම දෑත ඇති තාක් සිතේ බියක්‌ ද නොමැත.

තැබූ බර පිට රිදුම් දේ නම් අනේ ගැල යනවා
බෙරය ගලවනු නොහැකි වේ නම් බෙර තාල එනවා
එලෙස සිතනා රුදුරු සේනා දනා වෙහෙසනවා
උනුන් ඇස නොගැටී සිටින්නන් මෙහි කොහේ නැතිවා

නගරයේදී ඔහුට අත්විඳින්නට සිදුවන පීඩා බොහෝය.
පීඩිතයන් තවත් පීඩාවට පත් කරන පාලක පන්තිය ඔවුන්ගෙන් වැඩගනිති. ගොනා ගැල අදින්නේ හැකි ඉක්මණින් බරෙන් නිදහස් වීමේ අරමුණෙනි. බෙරය බැඳගත්තා නම් ගලවන්නට පෙර තාල වයන්නටම සිදුවේ. ඒ බව දත් පාලකයින් ඔවුන්ට උපරිම වැඩ පවරති. මෙහි පැමිණි කිසිවෙකුටත් ඉන් බේරුමක් නොමැත. තරුණයා තම දුක කියන්නේ එසේය.

තම තරුණ කාලය අපායක ගත කරන්නට සිදුවීම අභාග්‍යයකි. ළමා කල පාසැලේ නිදහසේ දුව පැන ගතකළ කාලය සිහිනයක් මෙනි. විටෙක මෙයින් මිදී යන්නටද සිතේ. නමුත් පුතා සිදාදියේ ලොකු මනුස්සයෙක් වී සිටිනු දැක්මට පුල පුලා බලා සිටින අම්මාගේ සිත රිදවන්නට නොහැක. ඇගේ සිතට ඒ බලාපොරොත්තු ලබා දුන්නේද ඔහුය. කරන්නට අන් කිසිවක් නැත. දිගටම මේ දුක විඳිය යුතුය.

තුරුණු වයසත් ගෙවිලා යනවා ඔහු තවම නිදි නිරි වළේ
දුවන්නයි සිත පැනල හනිකට වගේ පෙර කල පාසලේ
කෙලෙස යන්නද මවගෙ සිහිනත් මමනෙ මේ තුළ සිර කලේ
කියාගෙන ඔහු හෙට උදේටත් විඳිනවා දුක් සීතලේ

අද මේ දුක, හෙට සැප විඳින්නට බව ඔහුගේ අදහසයි.

සිව්පද කවියක අලංකාරය විදහා දක්වන ප්‍රධාන ලක්ෂණ කිහිපයකි. තාලය, අර්ථය සහ යොදාගත් භාෂාව ඒ අතරින් මුල් තැනක් ගනී. පද්‍ය පන්තිය පුරාම එළිසමය නිවැරදිව පවත්වාගැනීමට කවියා සමත්ව ඇත. "කුඩා කල සිට" ලෙස ආරම්භ වන කවි පන්තිය "විඳිනවා දුක් සීතලේ"ලෙස වන අවසානය දක්වාම පදයෙන් පදය එකිනෙකට ගැළපෙන පරිදි තාලය ගලා යන ලෙස නිවැරදි ව්‍යුහයක් ගොඩනගා ගැනීමට පමණක් නොව  ඕනෑම දැනුම පරාසයක රසිකයෙකු හට පහසුවෙන් අවබෝධ කරගත හැකි භාෂා ශෛලියක් යොදාගැනීමට ද කතෘ දක්වා ඇති දක්ෂතාවය අති විශිෂ්ටය.

ජීවිතය පුදුමාකාරය. අනාගතය අවිනිශ්චිතය. වෙනස්වීම් බොහෝය. මිනිසුන් ලෙස අප ඒ සියල්ලට මුහුණ දිය යුතුය. එය ලෙහෙසි පහසු කර්තව්‍යයක් නොවේ. විවිධ සමාජ තල වල හැදී වැඩුණු පුද්ගලයන්, පොදු සමාජයට නිරාවරණය වූ කල ඊට හැඩ ගැසීමට දරන්නා වූ අරගලය සුළුපටු නැත. සමහරු එයට මුහුණ දී ගත නොහැකිව අතරමං වෙති. සමහරෙක් එය අභියෝගයක් ලෙස භාරගෙන ඉදිරියට යති. මෙහි එන කතා නායකයා මින් කුමන පිරිසට අයත්ද යන්න තීරණය කිරීම රසිකයන්ට භාරය.

කවි පන්තියේ පළමු පදය දුටු අයෙකුට, එතැනින් නැවතිය නොහැකි අතර, එතැන් සිට අවසන් පදය දක්වා කියවා අවසන් වන විට ඔහුගේ සිතේ නිතැතින්ම මතුවන පැන දෙකකි. පළමුව, තමන්ට කවියාගේ අදහස නිවැරදිව අවබෝධ වූවාදැයි තමාගෙන්ම විමසන ඔහු කවි පන්තිය නැවතත් විශ්ලේෂණාත්මක මනසින් රසවිඳින්නට පෙළඹෙනු ඇත. මෙලෙස දෙතුන් වතාවක් මුල සිට අගට මෙම කවි පන්තිය රස විඳින ඔහු ඉන්පසුව තම දෙවැනි පැනය, පිළිතුරක් සොයා ගත නොහැකිව යටපත් කර දමනු ඇත.

"මෙහි රචකයා සහ කතා නායකයා යන දෙදෙනාම එක් අයෙක් ද, එනම් කැලෑ කොල්ලා, Chanaka Dineshම ද?