"අද පොත පත පොඩි උන්ගෙන් ඈත්වෙලා. ෆේස්බුක් වගේ සමාජ වෙබ් අඩවි වලට දරුවො ඇබ්බැහි වෙලා". ඇත්ත. හැබැයි වයසක මිනිස්සු වගේම සමහර සාම්ප්‍රදායික මිනිස්සු කියන විදියට ඒක පරිහානියද?
මට හිතෙන්නෙ මෙහෙම. මං දුයිශෙන්ව, අරවින්දව නොදන්න එක ඇත්ත. ඒත් මං දන්නවා සකර්බර්ග්ව, ගේට්ස්ව.
මං පොතක් පත්තරයක් කියවන්නෙ නැතිවෙන්න පුළුවන්. හැබැයි මං කියවනවා fb newsfeed එකයි tweets ටිකයි. අද වෙස්සන්තර ජාතකේ කවි ඇහෙන්නෙ නැති වෙන්න පුළුවන්. යසෝදරාවතේ නමවත් අහල නැති වෙන්න පුළුවන්.හැබැයි අපි අහනවා සිංදු, එක එක භාෂා වල. අපි බලනවා youtube.
වෙනස මේකයි. ඉස්සර, පුළුවන් අය පොත් ලිව්වා. නාට්‍ය හැදුවා. අද හැමෝම ලියනවා, ෆොටෝ ගහනවා, වීඩියෝ හදනවා. එදා තිබ්බ මහා කතුවරුන්ට විතරක් වෙන්වුණු ශෛලීන් වෙනුවට අද හැමෝම තමන්ගෙම ශෛලියක් හදාගෙන. හැමෝම දන්නවා අනිත් අයගෙ ශෛලීන්. අපේ ආදාන වගේම ප්‍රතිදාන පරාසයත් වැඩිවෙලා. සෙල්ෆියක විස්තරේ තියෙනවා පට්ට කලාවක්. Hash-tag එකක තියෙන්නෙ අමුතුම රසයක්. මට හිතෙන්නෙ ඒවත් වෙනස්ම විදි වල කවි.
රසාත්මක වැකිය කවියලු. භාෂාවෙන් රස මැවීම සාහිත්‍යයලු. එතකොට මේ සාහිත්‍යය නෙමේද? ඒ කලාව රස විඳින්න බැරිද?
සමාජ වෙබ් අඩවි ඇතුලෙ, ආර්ථික වාසි නැති නිසා නවකතා, කෙටිකතා වගේ දේවල් නොලියවෙන තරං බව ඇත්ත. සමහර දේවල් නැතිවෙලාම යාවි. ඒ වෙනුවට තවත් අළුත් ගොඩක් දේවල් ඒවි.
තාක්ෂණයත් එක්ක භාෂාව, සාහිත්‍යය පරිහානියට පත්වෙලා නෙමේ, වෙනස් වෙලා කියල දකින්න බැරිද? පෝෂණය වෙලා කියල හිතන්න බැරිද? වැරදි ඇති ඕන තරම්. ඒත් කොහොමත් වෙනස් කරන්න බැරි එකේ, හොඳ ටිකක් දකින එක හොඳ නැද්ද?
No comments:
Post a Comment