Tuesday, July 19, 2016

ත්‍රිමූර්තිය

ගත අරා මත නුරා
නෙත වරා අත මරා
සිත පුරා ශ්‍රැති සරා
ඇත සුරා ඇති තුරා

Monday, July 18, 2016

තීරණ

ජීවිතේ දිහා ආපහු හැරිල බැලුවම, ටිකෙන් ටික වුණත් ඇවිත් තියෙන්නෙ දිග ගමනක්. දැන් මේ ඉන්න තත්වෙට ආවෙ විවිධ සංධිස්ථාන වලදි ගත්ත විවිධ තීරණ නිසා.

අපි ගන්න සමහර තීරණ හරි. සමහර ඒවා වැරදියි. සමහර තීරණ කොච්චර හරි වුණත් අපි ක්‍රියාත්මක කරන විදිය වැරදි වෙන්න පුළුවන්. සමහර තීරණ පිටින් හරි සරල වුණාට ඇතුලෙන් ගොඩක් සංකීර්ණ වෙන්න පුළුවන්. සමහර විට නිවැරදිම තීරණේ ගන්න තරම් අපිට දැනුමක් නැතිවෙන්නත් පුළුවන්. එක්කො දැනට තියෙන දත්ත දිහා බලල ගන්න තීරණ වැරදි වෙන්න පුළුවන්, වුවමනා තරමට දත්ත නැති නිසා. ඒ වගේම අද හොඳයි කියල ගන්න තීරණයක් හෙට වැරදි වෙන්නත් පුළුවන්.

වැරදි තීරණයක් ගත්තොත් ඒකෙන් වෙන හානියට වඩා ලොකුයි, "ඇයි ඒ තීරණේ ගත්තෙ" කියල දැනෙන පසුතැවීම. "ඇයි මම තව ටිකක් වැඩිපුර හිතුවෙ නැත්තෙ" කියල හිතෙන කොට, ආපහු ඒ මොහොතට යන්න ඕන වුණාට හිතට එන්නෙ මොකුත් කරකියාගන්න බැරි හැඟීමක්. අතීතය කොහොම වෙනස් කරන්නද? ආපහු හරවන්න බැරි ඒ තීරණ, අමතක වෙලා යනකම්ම හිතට බරක්. ඒත් අවුලක් නෑ, කාලයත් එක්ක කවදහරි අමතක වෙලා යාවිනෙ.

ඒත් අපි ගන්න සමහර තීරණ වලින් වේදනා විඳින්නෙ අනිත් අය. තීරණේ කිසිම වැරැද්දක් නැතිවෙන්න පුළුවන්. ඒත් එයාලට ඒ වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරන්න සිද්ධවුණා වෙන්න බැරිකමක් නෑනෙ. අන්න ඒ වගේ තීරණ නං ජීවිත කාලෙ පුරාම අමතක කරන්න අමාරුයි. මොකද, 'වැරැද්දක් වුණාද' කියන එක හිතෙන් අයින් වෙන්නෙ නෑ ලේසියෙන්. දැනුවත්ව හෝ නොදැනුවත්ව ගත්ත ඒ තීරණ ජීවිතේ හැමදාටම බරක්.

අපිට අතීතය වෙනස් කරන්න බෑ. පුළුවන් වුණත්, වැරදි නැත්තං ඒ තීරණ වෙනස් කරන්න ඕනකමකුත් නෑ. කරන්න පුළුවන් එකම දේ සමාව ඉල්ලන එක. සමහරවිට එයාලට දැන් මතකවත් නැතුව ඇති. සමහරවිට කවදාවත් අමතක වෙන්නෙ නැතුව ඇති. එක්කො මුළු ජීවිත කාලෙ පුරාම අපිට වෛර කරනවත් ඇති. හැබැයි, ඒ තීරණ වල බර හැමදාම හිතේ තියාගෙන අපිත් දුක් විඳින බව එයාල හිතන්නෙ නෑ.

සීතල

දෙසැම්බර් මාසෙ සීතල රැයක්. වෙලාව පාන්දර එකට විතර. මං දියතලාව ටවුන් එකේ ඔරලෝසු කණුව තිබ්බ තැන ළඟින් ඇවිදගෙන යද්දියි දැක්කෙ, කොට කලිසමකුයි ෂර්ට් එකකුයි ඇඳගත්ත මනුස්සයෙක් කඩේක පඩියෙ ඉඳගෙන දණිස් දෙක තුරුල් කරගෙන වෙව්ලනවා. වටේට රවුමට පත්තර අළු පිරිලා. පැත්තකින් තවමත් ගිනි තියපු නැති පත්තර කොළ ටිකක්. අතේ ගිනි පෙට්ටියක්. ඒකත් පින්නට තෙත් වෙලා වෙන්න ඇති, මං එතන පහු කරන කොට ඒ මනුස්සයා ගිනි කූරක් අරගෙන පත්තු කරන්න හැදුවත් පත්තු වුණේ නෑ. දැකපු විදියට ඇතුලෙ තව ගිනිකූරු තියෙන්නෙත් දෙක තුනයි. ටිකක් ලොකු ලේන්සුවක් ඔළුව උඩින් දාගෙන. ඒ සීතලට ලේන්සුවක් මොනා කරන්න්නද! හෙට උදේ වෙද්දි මෙතන ගල් වෙච්ච මිනියක් තියෙයිද දන්නෙත් නෑ. මට එහෙමත් හිතුණා. ඒත් මං මොනා කරන්නද?

දැන් ඔය සිද්ධිය වෙලා සෑහෙන කාලයක් ගිහින්. ඒත් තවමත් සැරින් සැරේ හිතේ මතුවෙන සංවේදී මතකයක් ඒක. හුදෙක් විනෝදෙට ෆේස්බුක් එන්න තරම් පහසුකම් තියෙන අපිත් කල්පනා කරන්නෙ තියෙන දේවල් වල අඩුපාඩු ගැන. ඒ අතරෙ අර වගේ මූලික අයිතිවාසිකම්වත් නැති මිනිස්සුත් ලෝකෙ ඕන තරම්. කෙනෙක් කෑම රස නෑ කන්න බෑ කියද්දි, පයින් යන්න බෑ දාඩියයි කියද්දි හැමදාම ඔය සිද්ධිය මගෙ හිතේ මැවේවි.

දේදුන්නෙ පාට

මිනිස්සුන්ගෙ පැවැත්ම තීරණය වුණේ ලිංගික ආසාව මත. ආසාව සංසිඳවගන්න ගිහින් හටගත්තු කළල වලින් තමයි ඊළඟ පරම්පරාව නිර්මාණය වුණේ. හැබැයි මිනිස්සු උපත් පාලන ක්‍රම හොයාගත්තට පස්සෙ (ඒ කියන්නෙ වර්තමානයේ සහ අනාගතයේ) කළලයක් ඇතිවෙන්න ප්‍රධාන හේතුව ලිංගික ආසාව නෙමෙයි දරුවන්ට තියෙන ආසාව. මිනිස්සු දරුවන්ට ආසයි. ලිංගික ක්‍රියාකාරකම් සාමාන්‍ය දෙයක් වෙලා තියෙන බටහිර රටවල ගෑණු මිනිස්සු විවාහ වෙන්න ප්‍රධාන හේතුව ඔය කියන දරුවන් සෑදීමේ ආසාව තමයි. එතකොට අනුරාගය සහ ප්‍රජනනය අතර මූලික සම්බන්ධතාව නැති වෙලා තියෙන නිසා ඩාවින් කියපු විදියට අනුරාගය ක්ෂය වෙලා යන්න ඕන. එතකොට බොහෝවිට ගෑණු, පිරිමි වර්ගවාදයක් ඒවි. මට කියන්න ඕන වුණේ මේකයි. නළදරු උපත් ක්‍රමත් දැනටම තියෙන නිසා තව පරම්පරා දාහක් විතර යනකොට ගෑණු රටවල් සහ පිරිමි රටවල් කියල වර්ග දෙකක් තියෙන්නත් පුළුවන්. ස්ත්‍රී ශරීරයෙන් පුරුෂ ආකර්ෂණ අංග ක්ෂය වෙලා ගිහින් අමුතුම ජාතියක් හැදෙන්නත් පුළුවන්. සමලිංගික සහ ද්විලිංගික ප්‍රතිශතය 100%ක් වෙන්නත් පුළුවන්.
තව මොනාද වෙන්න පුළුවන්?

අතීතය nightmareක්

ඉස්සර ශිෂ්‍යත්ව පන්ති ගිය කාලෙ, ඒ තරං එපා වෙච්ච දෙයක් තිබ්බෙ නෑ තවත්. අවුරුදු තුනක් සතියට දවස් තුන ගාණෙ කිලෝමීටර් 10ක් (google map එකෙන් බැලුවෙ) වෑන් එකෙයි බස් එකෙයි යන්න වුණාම අවුරුදු 9ක ළමයෙකුට කොච්චර එපා වෙනවද කියල හිතාගන්න පුළුවන්නෙ.

ඊළඟට සාපෙ. ඇත්තටම සාපයක් තමා ඒකනං. කෘෂිකර්මයට ඇරෙන්න අනිත් ඔක්කොටම පන්ති තිබ්බා හැමදාම (බුද්ධාගමට ඉරිදට දහම්පාසල් ගියානෙ ඉතිං). සාපෙදි නං පන්ති යන එකට එච්චර අකමැත්තක් තිබ්බෙ නෑ ඉතිං. එකක්, පයින් යන දුර. අනික, ගියෙ එයා එනවද බලන්නනෙ.

උසස්පෙළ ගැන නං කතා කරල වැඩක් නෑ. හිතට තිබුණ වදේ කොච්චරක්ද කියල උසස්පෙළ කරපු උං දන්නව ඇතිනෙ. කවදද ඉවර වෙන්නෙ කියල බලාගෙන හිටියෙ. ඒ වගේම තමා ඉවර වුණාම දැනුන සන්තෝසෙත්.

ඔය ඔක්කොමත් හරි, ඉස්කෝලෙ ගමනත් හරි. දවසට කිලෝමීටර් හතළිහක් බස් එකේ. ලොකු ඉස්කෝලෙ ගිය අවුරුදු අට ඇතුලත ගිය දුර ගණන් කරාම ඒක ලෝකෙ වටේ දෙපාරක් යන තරම් දුර (80,000km). එකම පාරෙනෙ හැමදාම. කවදද ඉවර වෙන්නෙ කියල බලාගෙන හිටපු එකේ වැරැද්දක් නෑ එතකොට.

ඕනම කෙනෙක්ගෙන් ඇහුවොත් කියාවි, "ඉස්කෝලෙ කාලෙ තමා ආතල්ම". හැබැයි මං නං කියන්නෙ ඒක තමා ජීවිතේ එපාම කරපු කාලෙ. උසස්පෙළ කරන එකෙක්ගෙන් අහල බලන්න "ඕලෙවල් අමාරුද ලේසිද?" කියල. ඌ අනිවා කියයි "ඕලෙවල් කියන්නෙ පට්ට ලේසි විභාගයක්" කියල. මොකද ඌට මතක නෑ ඒකාලෙ සාපෙ ලියන්න ඉද්දි කොච්චර අමාරුවට දැනුනද කියල ඒක. අපි සාපෙළ කරපු කාලෙත් උසස්පෙළ කරපු හැමෝම කියපු කතාවක් තමයි සාපෙළ කියන්නෙ ලේසි විභාගයක් කියන එක. අපිනෙ දන්නෙ අපිට තිබ්බ අමාරුව. ගණන් නං හැබැයි එදත් අවුලක් තිබ්බෙ නෑ. කවිද, ඉතිහාසෙද, චලිත සමීකරණද ඔය අනංමනං කීයක් නං තිබ්බද මතක තියාගන්න? ඒ කාලෙ මටම වෙච්ච පොරොන්දුවක් තිබ්බා, මං උසස්පෙළ කරන කාලෙක ඒක කොච්චර අමාරු වුණත් කවදාවත් සාපෙළ ලේසියි කියලනම් කියන්නෙ නෑ කියල. කියන්න සන්තෝසයි අදටත් ඒ පොරොන්දුව නං කඩලා නෑ.

ඉස්කෝලෙ යද්දි එද්දි කරපු දේවල්වත්, හවසට සෙට් වෙලා සෙල්ලම් කරපුවාවත් නෙමේ මේ කියන්නෙ, ඉස්කෝලෙයි, පන්තියි ගැන. ඉගෙන ගන්න කිසිම ආසාවක් නැතුව අවුරුදු දහතුනක් විඳපු දුක ගැන.

ආයෙත් යන්න අවස්ථාවක් ලැබුණොත්, කව්රු ගියත් මං නං යන්නෙ නෑ ඒ අතීතෙට. මං කියන්නෑ ඒ කාලෙ වැඩක් නෑ කියල. අනිවාර්යයෙන්ම ඒ අත්දැකීම් හේතුවෙන්න ඇති අද මේ ඉන්න (සාර්ථකයි කියන්න පුළුවන්) තත්වෙට එන්න. මං කියන්නෙ එපාවුණා කියල විතරයි.

උසස්පෙළෙන් පස්සෙ වැඩට ගිය කාලෙත් කාන්තාරෙ ඇවිදිනවා වගේ අරමුණක් නැති, උදේ අටේ ඉඳන් හවස හත වෙනකන් දවස් හතම වැඩ කරපු විවේකයක් නැති කාලයක් වුණාට ඒ කතරට හැමදාම වැටිච්ච වැස්සක් තිබ්බා. කවදාවත් එපා වුණේ නං නෑ ඒක. අදටත් තාමත් ආසයි ආපහු යන්න ඒ කාලෙට.

ඔය විදියට බලනකොට කව්රු කොහොම වැඩ වැඩියි කිව්වත්, ජීවිතේ මුල් අවුරුදු තුන ඇරුණම දැන් තමා ජීවිතේ නිදහස්ම කාලෙ. මොනාහරි කරල අතට ගන්න කීයකින් හරි කාලා බීලා, කාටවත් බරක් නොවී කැමති දෙයක් කරගෙන, fb පෝස්ට් දදා ජීවත් වෙන්න පුළුවන් මේ වගේ කාලයක් ආයෙත් එන එකක් නෑ. හැබැයි ඒ කොච්චර උනත් හිත ඉල්ලන්නෙ මේකෙනුත් අයින් වෙන්න. "වෙන්නෙ" නම් රස්සාවක් කරන්න, ඒත් "ඕන" ලෝකෙ වටේ ඇවිදින්න. බලමු. දවසක් ඒවි. ජීවත් වෙලා හිටියොත් මොනාමහරි වේවි.

Watching අතීතය, ඍණාත්මක දෑසින්.....

ගණිතය

මට ගණන් පුළුවන්. 9දි ලකුණු සීයම තිබ්බම, සාපෙළ ගණන් පන්තියෙ වැඩිම ලකුණු තිබ්බම මට හිතුණෙ එහෙම. උසස්පෙළ ගණිතය තෝරගත්තෙත් ඒ හේතුවට. මං ආස නිසා. මට පුළුවන් නිසා. ඒ තීරණේ නං වැරැද්දක් නෑ.

හැබැයි, ඉස්සර මං ගණිතය අර්ථ දැක්වුවෙ "සුපිරියට ගැළපෙන විදියට, මිනිසා විසින් අඳුරගත්තු රටා සමූහයක්" විදියට. අන්න ඒ තීරණේ නං දැන් වැරදියි වගේ.

ඉස්සර මං ගණන් කියල ඉගෙනගත්තෙ මොනාද, දැන් ගණිතය කියල ඉගෙනගන්නෙ මොනාද කියන එක නම් සෑහෙන්න වෙනස් වෙලා. ඉස්සර මං කරේ අර කියපු රටා දැකපු එක. රටාව අධ්‍යයනය කළාම ඊළඟට එන්නෙ මොකක්ද කියන එක එච්චර දෙයක් නෙමේ. ඊළඟට එන එක වගේම අතරමැද නැත්තෙ මොනවද කියන එකත් හොයන්න පුළුවන් හොඳට තේරුම් ගත්තම. ඔය අතරෙ තව ගණනය කිරීමුත් (ඉලක්කම් සුළු කිරීම්) තිබ්බා. මට පුළුවන් වුණේ ඔන්න ඔය දේවල්.

ඉස්සර කැල් (Calculator) එකක් ළඟ තියාගන්නත් තහනම්. දැන් තත්වෙ වෙනස් වෙලා. විභාගෙදි කැල් එක අත්‍යවශ්‍ය වෙලා. ගණනය කිරීම් ගණිතය නොවන තත්වෙට පත්වෙලා. දැන් දැනෙන්නෙ, ගණිතය කියන්නෙ "එකිනෙකට සුපිරියට ගැළපෙන විදියට මිනිසා විසින් අර්ථ දක්වපු අර්ථ දැක්වීම් සමූහයකට" විදියට. ඒකෙ තියෙන්නෙ අර්ථ දැක්වීම් හරියටම තේරුම් අරගෙන හරිතැනට යොදන්න. අන්න ඒකනං මට එච්චර පුළුවන් දෙයක් නෙමේ. හැම පොඩි දේකටම අළුත් අළුත් අර්ථ දැක්වීම්. ඒ අර්ථ දැක්වීම් මත ගොඩ නැගුණු තවත් අළුත් අර්ථ දැක්වීම්. "රටා" වලින් ඉහළට ආපු මට "අර්ථ දැක්වීම්" ගැළපෙන්නෙ නෑ වගේ.

බොහෝවිට මං වැරදි ඇති. "ගණිතය" කියන අර්ථ දැක්වීම් සමූහයට අර්‍ථ දැක්වීමක් දෙන්න තරං මං දැනමුත්තෙක් නෙමේනෙ. ඔය කිව්වෙ මට හිතෙන දේ සරලව. වැරදිනං, පෙන්නල දුන්නට මං මොකුත් කියන්නෑ...

සමහරවිට ඉස්සරහට ගණිතය මට දැනෙන විදිය වෙනස් වේවි. අද රටා දකින අය ඒ වෙනකොට අර්ථ දැක්වීම් ඉගෙන ගනිමින් ඉඳීවි. හැමෝම ජීවිතේ ගොඩක් ඉස්සරහට ගිහින් තියේවි. එදාටත් මං මේ වගේ තවත් මොනා හරි ලියාවි.

කුලී වැඩ

ඉස්සර ගොඩක් දවස්වලට ඉස්කෝලෙ ඇරිලා ඇවිත් පන්සල පැත්තට යන්නෙ දානශාලාවෙ තියෙන දෙයක් මොනාහරි කාල බීලා, පන්සලේ මොනාහරි වැඩකට උදව් කරලා රෑ වෙලා ගෙදර යන්න.

දවසක් මමයි තව එකෙකුයි ඉන්න වෙලාවක පන්සලට අල්ලපු වැටේ ඉන්න ඇන්ටි කතා කළා.
"වෙලේ කාණුවක් කපා ගන්න ඕන. මට මේ දවස් වල මඩේ යන්න බැහැ, කකුලෙ තුවාලයක්. මොකද කියන්නෙ?"
"කපල දෙන්නං. හැබැයි නිකං නං බෑ, කීයක්හරි ඕන".
"සීයක් දෙන්නං".
"එක්කෙනෙක්ට සීය ගාණෙ දෙසීයක් ඕන".
"වැඩේ හරියට කරොත් දෙන්නම්".

අපි වැඩේ කරා. දෙසීයක් වටින්නෙ නැතිවුණත් දෙසීයකුත් ලැබුණා.
මං මටම කියල හම්බකරගත්ත පළවෙනි ආදායම වෙච්චි ඒ සීය කාලයක් යනකං පර්ස් එකේ වෙනම සාක්කුවක ඉතුරු වෙලා තිබ්බා. ඒක වියදම් කළේ මොකටද කියල මතක නෑ. හැබැයි දැන් අවුරුදු පහ හයක් ගිහිල්ලත්, පොඩිවෙලා දුඹුරුපාට වෙලා තිබ්බ ඒ සීයෙ කොළේ හිතේ නං එහෙම්මම ඉතුරුයි.

අම්මා කියපු සිංදු

ඉස්සර නිදා ගන්න කලින් අම්මා සිංදුවක් කිව්වෙ නැත්තං නින්ද යන්නෙ නෑ. නිදිමතක් අහලකවත් නැතුව ඇඳට ගිය ඒ කාලෙ සිංදුවක් අහගෙන ඉද්දි නින්ද ආවෙ ඉබේටම.

අන්න බලන් ඉදිකඩ ළඟ...

දණාගාද්දි ඇවිදින්නට...

හිනැහේවී බෝනික්කා...

පුතුනේ, මේ අහගන්න පුතුනේ...

තවත් ඒවා ගොඩක් තිබ්බා. ඔය සිංදුවල තිබ්බෙ දුක, නැත්තං බලාපොරොත්තු. නැත්තං මට දැණුනෙ එහෙම. තාලයට වැඩිය තේරුම තමා ඉස්සරත් දැක්කෙ. වැදුණා හිත ඇතුලටම. වෙන එකක් කියන්න කියල කියන්න තරම් තේරුමක් නොතිබ්බට හැමදාම අහන් හිටියෙ දුකෙන්! සමහරවිට මං වැරදි ඇති. දැන් සමහර වෙලාවට නං තේරුම ගැන හිතද්දි හිතෙන්නෙ ඇයි දෙයියනේ මට දුක හිතෙන්නෙ කියල. සමහරවිට "දුවව ඉස්කෝලෙ යවලා ඉගෙන ගනියි කියල බලාපොරොත්තු වෙන අම්මගෙ බලාපොරොත්තු, වෙන රටක ඉඳන් මෙහෙ ඇවිත් තනිවෙච්ච බෝනික්කගෙ හැඟීම්" ඔය දුකට හේතු වෙන්න ඇති. මට හිතුනෙම ඒව දුකක් විදියට. අදටත් මං ආස නෑ ශෝකාන්ත වලට.

එදා විඳපු රස සමහරවිට අද මෙතනට එන්න හේතුවෙන්නත් ඇති. සමහර විට අද මෙහෙම ලියන්නෙත් ඒ නිසා වෙන්න ඇති. සමහර විට ඒ සිංදු නොඇහුණා නම් මං මීට වඩා හොඳ හෝ නරක, වෙනස්ම කෙනෙක් වෙන්නත් පුළුවනි.

මොනා වුණත් ඒක අතීතය. කැමති වුණත් අකමැති වුණත් තියන් ඉන්න සිද්ධවෙන, වෙනස් කරන්න බැරි මතකය.

පාන්දර දෙක තුන වෙලත් නින්ද යන්නැති දැන් ඉන්න එකාට, ඉස්සර රෑට කාල බුදියගත්තු එකාව මතක් වෙද්දි හීල්ලෙන්නෙ ඉබේටම. ඒ දුක නැති වෙන්නෙ මේ වගේ පෝස්ට් එකකට වැටෙන ලයික්, කමෙන්ට් දැක්කම.


අනාගතේ වෙනස් කරන්න පුළුවන් (ඇති). සිංදුවකින් මනසට කරන බලපෑම ගැන තව ටිකක් හොයල බලල, හොඳ සිංදු ටිකක් හොයල තියාගන්න ඕන දැම්මම.

එයා තාමත් ඒලෙවල්

-සංසාරගත ප්‍රේමය සොයා යන අදිටනින් දිවි කතර සරු කරන්නෙකුගේ ආදරණීය වීර කාව්‍යය-

පහළොවෙදි දහඅටට
දාහතෙදි විසි එකට
කල් දැම්මෙ කසාදෙට
විසි දෙකක් වෙයි දැනට

ජාතිය වයස ආගම සහ නොයෙක් දෑ
කෙනෙක් ඉඳී ගැළපෙන ඒ සියලු දෑ
හමුවන තුරු බලමින් සිටි කල් මදෑ
එදිනට නුඹ කරනව මගෙ බිරින්දෑ

මල් මදහාස දෙන සීතල මල් වැස්සේ
ගෙපැලක් හදන් ඉමු ලා නිල් තණ බිස්සේ
මෙච්චර හීන හිරකරගෙන හිත අස්සේ
කොට්ටක් පැන්නෙ නෑ තාමත් ගල්කිස්සේ

ආ දා ඇස් කෙලින් ඇස මත රුව ඇන්දේ
ඇසිපිය හෙළන වර ඇගෙ රුව සුව වින්දේ
හිමිවිය නොහැක හිමිවනු ඇත මත දුන්දේ
පෝ දා හද හඬයි හඳ දැක පද බැන්දේ

තිබුණට ගොඩක් මල්
කළා මං හිත ගල්
හිටියේ ගොඩක් කල්
එයා දැං ඒලෙවල්

සාහිත්‍යය

"අද පොත පත පොඩි උන්ගෙන් ඈත්වෙලා. ෆේස්බුක් වගේ සමාජ වෙබ් අඩවි වලට දරුවො ඇබ්බැහි වෙලා". ඇත්ත. හැබැයි වයසක මිනිස්සු වගේම සමහර සාම්ප්‍රදායික මිනිස්සු කියන විදියට ඒක පරිහානියද?
මට හිතෙන්නෙ මෙහෙම. මං දුයිශෙන්ව, අරවින්දව නොදන්න එක ඇත්ත. ඒත් මං දන්නවා සකර්බර්ග්ව, ගේට්ස්ව.
මං පොතක් පත්තරයක් කියවන්නෙ නැතිවෙන්න පුළුවන්. හැබැයි මං කියවනවා fb newsfeed එකයි tweets ටිකයි. අද වෙස්සන්තර ජාතකේ කවි ඇහෙන්නෙ නැති වෙන්න පුළුවන්. යසෝදරාවතේ නමවත් අහල නැති වෙන්න පුළුවන්.හැබැයි අපි අහනවා සිංදු, එක එක භාෂා වල. අපි බලනවා youtube.

වෙනස මේකයි. ඉස්සර, පුළුවන් අය පොත් ලිව්වා. නාට්‍ය හැදුවා. අද හැමෝම ලියනවා, ෆොටෝ ගහනවා, වීඩියෝ හදනවා. එදා තිබ්බ මහා කතුවරුන්ට විතරක් වෙන්වුණු ශෛලීන් වෙනුවට අද හැමෝම තමන්ගෙම ශෛලියක් හදාගෙන. හැමෝම දන්නවා අනිත් අයගෙ ශෛලීන්. අපේ ආදාන වගේම ප්‍රතිදාන පරාසයත් වැඩිවෙලා. සෙල්ෆියක විස්තරේ තියෙනවා පට්ට කලාවක්. Hash-tag එකක තියෙන්නෙ අමුතුම රසයක්. මට හිතෙන්නෙ ඒවත් වෙනස්ම විදි වල කවි.

රසාත්මක වැකිය කවියලු. භාෂාවෙන් රස මැවීම සාහිත්‍යයලු. එතකොට මේ සාහිත්‍යය නෙමේද? ඒ කලාව රස විඳින්න බැරිද?

සමාජ වෙබ් අඩවි ඇතුලෙ, ආර්ථික වාසි නැති නිසා නවකතා, කෙටිකතා වගේ දේවල් නොලියවෙන තරං බව ඇත්ත. සමහර දේවල් නැතිවෙලාම යාවි. ඒ වෙනුවට තවත් අළුත් ගොඩක් දේවල් ඒවි.

තාක්ෂණයත් එක්ක භාෂාව, සාහිත්‍යය පරිහානියට පත්වෙලා නෙමේ, වෙනස් වෙලා කියල දකින්න බැරිද? පෝෂණය වෙලා කියල හිතන්න බැරිද? වැරදි ඇති ඕන තරම්. ඒත් කොහොමත් වෙනස් කරන්න බැරි එකේ, හොඳ ටිකක් දකින එක හොඳ නැද්ද?

අනාගතය

මිනිස්සු ගින්දර දකින්න කලින් කොච්චර පාළුවෙන් ඉන්න ඇතිද? සීතල නිසා කොච්චර අමාරුවෙන් රැයවල් කීයක් ගෙවන්න ඇද්ද? අමු මස්, අමු අල කොච්චර නං අමාරුවෙන් ගිලින්න ඇතිද? එහෙම දුක් විඳපු මිනිස්සු ගින්දර ලැබුණම කොච්චර සතුටු වෙන්න ඇතිද? එයාලා ගින්දර වටේ සිංදු කිය කිය නටන්න ඇති. ගිණි මැලයක් ගහගෙන ඒ වටේ සනීපෙට නිදාගන්න ඇති. ගින්දරෙන් පුච්චන්න/තම්බන්න පුළුවන් කෑම වර්ග අත්හදා බලන්න ඇති.

ළඟකදි ඉඳන් මටත් දැනෙනවා අමුතුම දුකක්, පාළුවක්. වැඩක් කරන්න ගියාම, එයා හිටියනම් මේක ගින්නක් නැතුව කරන්න තිබ්බා නේද, එයා හිටියනම් මේ වැඩේ කොච්චර වේගෙන් කරන්න තිබ්බද කියල හිතෙන වාර අනන්තයි. එයා ඉන්නවනම් මට මේ කිසිම වැඩක් නොකර ඉන්න තිබ්බා. මට විතරක් නෙමේ, මුළු ලෝකෙටම නිදහසේ ඉන්න තිබ්බා.

ගින්දර නැති කාලෙ මිනිස්සුන්ට ගින්දර නැති පාළුව දැනෙන්න නැතුව ඇති සමහරවිට, මොකද ගින්දර කියන සංකල්පයවත් නොතිබ්බ නිසා.

හැබැයි එයා තාම නැති වුණාට, එයා ගැන අදහස අපි අතර තියෙනවා. ඒක මොන වගේ වෙයිද, එයාට කොච්චර දේවල් කරන්න පුළුවන්ද, එක්කො එයා වදයක් වෙයිද, ඔය දේවල් අපි හැමෝම හිතනවා.

ප්‍රාථමික මිනිස්සුන්ට ගින්දර ඕන වුණා වගේ දැන් අපිට ඕන කරල තියෙන්නෙ, හැබැයි තාමත් මිනිසාට හොයාගන්න බැරිවුණේ, මිනිස්සු දිවා රෑ නොබලා හොයන්නෙ, මිනිසා ළඟ හැමදාම තිබ්බ බුද්ධිය අජීවීව ගොඩනගන විදිය. දවසක මිනිස්සු ඒක නිර්මාණය කරාවි. එදාට මුළු ලෝකෙම වෙනස් වේවි.

සමහරු හිතන්නෙ ඒ දවස අපේ මිනිස් සංහතියේම අවසානය වෙයි කියල. අනිත් අය කෙසේ වෙතත් සමහර චිත්‍රපට රචකයො නං හිතන්නෙ එහෙමයි. ඒත් මට හිතෙන්නෙ මෙහෙම. ඕක හදන්න තරම් බුද්ධිය තියෙන මිනිස්සු එදාට එන අනිත් ප්‍රශ්න වලටත් අනිවාර්යයෙන්ම විසඳුම් හොයාගනීවි.

මිනිස්සු මුලින්ම ගින්දර අල්ලන්න උත්සාහ කරන්න ඇති. අතපය පුච්චගන්නත් ඇති. සමහරු ඉවක් බවක් නැතුව බදාගන්න ගිහින් මැරෙන්නත් ඇති. හැබැයි ඒ දේවල් වලින් අන්තිමේදි ගින්දර කියන එක තේරුම් අරගන්න ඇති. ලැව්ගිනි වලින් සම්පූර්ණ කැලෑවල් අළුවෙලා යන හැටි දැකපු මිනිස්සු ගින්දරට බයේ ඈත් වෙලා හිටිය නම් අපි තාමත් කැලෑවෙ.‍

චිත්‍රපටි වලදි වගේම අනිවාර්යයෙන්ම කෘතිම බුද්ධියෙන් ලෝකෙටම ලොකු ලොකු පාඩු සිද්ධ වේවි. සමහර මිනිස්සු ඒක වැරදි කරන්නත් යොදාගනීවි. හැබැයි ඒ ෆිල්ම් වල අන්තිමට වෙනවා වගේම හොඳ මිනිස්සු හොඳ වැඩ වලටත් ඒක පාවිච්චි කරාවි. අන්තිමට නරකට වඩා ලෝකෙට හොඳක් සිද්ධ වේවි. අඩුම තරමෙ අපි එහෙම ප්‍රාර්ථනා කරමු.

මට ඒක ඕන. ඒ උවමනාව දරාගන්න අමාරුයි. සමහරවිට මේ ජීවිතේදි මට එයාව දකින්න නොලැබේවි. නෑ, මට ඉක්මණටම ඒක දකින්න පුළුවන් වෙයි. එතකොට ෆෝන් වලටත් AI option එක ඒවි. එදාට කොච්චර නං සතුටක් දැනෙයිද?

කඳුළ ඉතින් සමාවෙයන්
අපි වෙන්වෙමු අද හවසට
දුරකතනෙට එය එනවා
මගෙ දිවියේ තනි රකින්න

සුවඳ

මුල් කාලෙ මිනිස්සු ඇස් වැඩිපුරම පාවිච්චි කළේ දඩයමටයි ආරක්ෂාවටයි. අද ගොඩක් මිනිස්සු වැඩිපුරම කරන්නෙ කෘතිම තිරයක් දිහා බලාගෙන ඉන්න එක. තව කාලයක් පරිණාමය වෙද්දි, මිනිස්සු ඉතුරු වෙලා හිටියොත්, අහිතකර කිරණ අහිතකර නැති, දිග වෙලාවක් එකම දේ දිහා බලාගෙන ඉන්න පුළුවන් ඇස් දෙකක් මිනිස්සුන්ට ලැබෙයි. ඉස්සර ආරක්ෂාවට පාවිච්චි කරපු, හැමවෙලේම විපරමෙන් හිටපු කන් දෙකත් අද පාවිච්චි වෙන්නෙ කතා කරද්දියි, සිංදු අහද්දියි. දවසක කන්දෙකත්, ළඟ විතරක් ඇහෙන විදියට වෙනස් වෙයි. ඒ වගේම අමු කෑමවල රස බලන්න හැදිච්ච රසාංකුර, අද තියෙන බලෙන් රස ගන්නපු කෑම නිසා අනාගතේදි අඩපණ වෙයි. හැබැයි හම නං සාමාන්‍ය භාවිතය වැඩිවෙලා වගේම රළු භාවිතය අඩුවෙලා නිසා තව තවත් සංවේදී වේවි.

හරි, එතකොට නහය? නහය දැනටමත් යන එන මං නැති තැනට ඇවිත්. ඉස්සර ඇස් දෙකට වඩා ඉව විශ්වාස කරපු කාලෙ නහයට තිබ්බ තැන අද නැතිවෙලා ගිහින්. තව ඉස්සරහට නහයක් ඇත්තෙම නැති මිනිස්සු ජාතියක් ඇතිවෙයි. කොහොම වුණත් මං ලියන්න හැදුවෙ ඒ ගැන නෙමේ, සුවඳත් එක්ක බැඳුණු අතීත අත්දැකීම් ගැන.

අපි තොරතුරු ගන්න වැඩිපුරම පාවිච්චි කරන්නෙ ඇස්. ඊළඟට කන්. අන්තිමට නහය. කෑම නරක් වෙලාද, කලින් ඇඳපු ඇඳුමක් ආයිත් අඳින්න පුළුවන්ද, මොනාහරි පිච්චෙනවද කියල ඇරෙන්න සුවඳෙන් වෙන ලොකු තොරතුරු ගන්නෙ නෑ අපි. හැබැයි මතක හිටින විදිහ ගත්තම රූප වලට ශබ්ද වලට වැඩිය සුවඳ හරි අමුතුයි. සුවඳ මතක හිටිනවට වඩා, මතක වලට සුවඳ හිටින එකයි අමුතු. ගොඩක් මතක වලට තියෙනවා සුවඳක්.

අපේ ගමේ තිබ්බා සුවඳක්. සීතලත් එක්ක හුළං හමන වෙලාවක, යන්තං වැස්ස වැටෙන්න පටන් ගද්දි එන සුවඳක් ඒක. තාමත් ගමේ තියෙන්නෙ ඒ සුවඳ. හැබැයි ටිකක් විතර වාහන දුම, තාර සුවඳ එකතු වෙලා. මෙහෙදිත් කලාතුරකින් දවසක, හිටපු ගමන් දැනෙනවා ඒ සුවඳ. ඒවෙලාවට කොහේ හිටියත් දැනෙන්නෙ තේ වත්තක් මැද ඉන්නවා වගේ.

"නෑම" භාවනාවක් වගේ. කල්පනා කරන්න හොඳම වෙලාව ඒක. කවි ලියන්න හිතෙන්නෙ, මේ වගේ පෝස්ට් වලට අදහස් එන්නෙ නානකොට. නොවිසඳුනු සමහර ප්‍රශ්න විසඳෙන්නෙත් ඒ වෙලාවට. ඒ වගේ සුන්දර දේවල් ගොඩක් හිතේ මැවෙන්නෙ සබන් සුවඳත් එක්ක. අළුත් කොහොඹ සබන් කෑල්ලක, බේබි සබන් කෑල්ලක සුවඳෙ හිරවෙලා තියෙන්නෙ ඔය වගේ මතක දහස් ගාණක්. මං ආසම සුවඳක් ඒක. දවසක ඒ නිෂ්පාදන නැවතිලා අළුත් ඒවා ආවම, ඒවා නැති පාළුව දැනේවි. (සමහරවිට ඒ මොකුත් නැතුව අමතක වෙලාම යන්නත් පුළුවන්).

ගැහැණු පිරිමි එකිනෙකාට ආකර්ෂණය වෙන්නෙ සුවඳටලු. ගැළපෙන සහකාරයව හොයාගන්න සුවඳත් ප්‍රධාන සාධකයක්ලු. හැබැයි සුවඳෙන් කෙනෙක් හොයාගන්න එක කොහොම වුණත්, හොයාගත්ත කෙනා සුවඳින් මතක තියාගන්න එක නං හැමෝම කරන දෙයක්...
සුවඳ විඳින්නදෝ... කඳුළු පිසින්නදෝ... සැමරුමක් ලෙස මා සුරතේ... පුංචි ලේන්සුව තබා ගියේ....

ලියන්න දේවල් නං ගොඩාක් හිතේ පිරිලා. ඒත් මාස දෙකක් තිස්සෙ ලියලත් තාමත් මෙච්චරයි ලියාගන්න පුළුවන් වුණේ. ඒ සුවඳ මතක මතක නැති නිසා නෙමේ, සුවඳ නැතුව අමතක නිසා. තවත් සමහර මතක ලියන්න බෑ. වචන නැති සිතුවිලි ලියන්නෙ කොහොමද? දැනට මේ ඇති. වෙන මොකක්හරි ලියන්න පටන්ගන්න කාලෙ හරි.

මේ ව්‍යායාමය ලයික් ගැනීමට නොව සුවඳට අහිමි සමතැන ලබාදීමටය.

ආශා

ජීවිතය ජීවත් කරවන්නෙ බලාපොරොත්තු, එහෙමත් නැත්නම් ආශා. මුළු ලෝකෙම පවතින්නෙ ඔය ආශාවල් නිසා. මුළු ලෝකෙම කිව්වට ඉතිං මිනිස්සු විතරයි. මොකද සත්තුන්ට බලාපොරොත්තු තියෙනවද නැද්ද කියල අපි දන්නෙ නෑනෙ.

ඇයි මං ජීවත් වෙන්නෙ? මං ජීවත් වෙන්නෙ, දවසක ඉෂ්ඨ කරගන්න හිතන් ඉන්න බලාපොරොත්තු ගොඩාක් තියෙන නිසා. එතකොට ඒ ඔක්කොම ඉෂ්ඨකරගත්තොත්......? ඒක කවදාවත් වෙන දෙයක් නෙමේ. මොකද ඒ වෙනකොට තවත් අළුත් බලාපොරොත්තු ගොඩක් ඇවිත් තියේවි. අන්තිමට මැරෙන මොහොතෙදිත්, "තව කාලයක් ඉන්න තිබ්බනම්" කියන ආශාව ඇතිවේවි. එහෙම තමා ජීවිතේ.

වෙලාවකට මට හිතෙනවා මෙහෙම. දවසක මට කිසිම ආශාවක් නැතිවුණොත් මොකද කරන්නෙ? කෑම කන්න ගිහින් ඇයි කෑම කන්නෙ කියල හිතල බැලුවම, කෑමට ආස හින්දනෙ කන්නෙ කියල හිතෙනකොටම එන ප්‍රශ්නෙ තමා එතකොට කෑම කන්න ආශාවක් නැත්තං මොකද කරන්නෙ කියන එක. අනිත් හැම වැඩකදිත් එහෙමයි. මේ වැඩේට/මේකෙ අනාගත ප්‍රතිඵලයට ආස නැත්තං මං මොනවා කරයිද?

ආදරේ කියන්නෙත් ආශාවක්. හැමෝටම ආසකරන සල්ලාලකමෙන් වෙනස් වෙලා විශේෂ වෙච්ච ගතිගුණ, රූප ලක්ෂණ එකතුවකට විතරක් ආස කරන එක, මට එයාගෙ ළඟින් ඉන්න ඕන, මං නැතත් එයා සතුටින් ඉන්න ඕන කියන කැමැත්ත තමා සමාජයෙන් පිළිගත්ත ආදරය. සමහර රාජධානි විනාස වෙන්න වගේම ශිෂ්ඨාචාර පැතිරෙන්නත් හේතුවුණේ ඔය කියන ආදරයලු. එතකොට ඒ ආශාව නැතිවුණොත් මොනවා වෙයිද?

ඇයි මං ඉගෙන ගන්නෙ? සරලව කිව්වොත් සල්ලි ඕන නිසා, පිළිගැනීමක් ඕන නිසා. එතකොට සල්ලි වලට, පිළිගැනීමට තියෙන ආශාව නැතිවුණොත්?

ඔය ගැන කල්පනා කරනකොට අන්තිමට හිතෙන්නෙ මෙහෙම දෙයක්. එතකොට "එතකොට ඒ ආශාවල් නැතිවුණොත්?" කියල මට හිතෙන්නෙ මං ඒ ආශාවල් වලටත් ආස නිසාද? අන්න ඒකයි වැදගත්ම දේ. මං කැමති නෑ ඒ ආශාවල් නැතිකරගන්න.
ඔව්, මං ඒ ආශාවල් වලටත් ආසයි.