සමහරවිට ඉස්සර, ලියන්න හිතෙන්න හේතුවක් තියෙන්න ඇති. ඉටු කරගන්න බැරි ආසාවල් පිරුණු හිතේ හිඩැස් වහන්න ලියන එක උදව් වෙන්න ඇති. නිදහසේ කියාගන්න බැරි වෙච්ච දේවල් හිරකරලා තියාගන්න එළිවැට ඕන වෙන්න ඇති. එහෙනම්, දැන් හිත පිරිලා වෙන්නත් ඇති.
එදා ඉඳලා අද වෙනකං, කරපු දේවල් පුදුම ගොඩක්. වයස වැඩි වෙලා. අත්දැකීම් වැඩි වෙලා. දැනුම වැඩි වෙලා. වගකීම්, බලාපොරොත්තු, වත්කම්, ආසාවල්, මේ හැමදේම වැඩි වෙලා. හැබැයි ප්‍රශ්න නං තාමත් වෙනස් වෙලා නෑ.
අපි හැමෝටම තියෙනවා අරමුණු. අපිම හදාගත්ත, අපිම බදාගත්ත තනි තනි අරමුණු. ඒත් මිනිස්සු විදිහට අපි හැමෝගෙම පොදු අරමුණ, තවත් මිනිස්සු හදන එක විතරක් නෙවේද? ඒකත් තේරුමක් නැති ඉබේ හැදුණ අරමුණක්ද? එතකොට මේ හැමදේම අහම්බයක්ද? "මම", අගක් මුලක් නැති අහම්බයන් අනන්ත ගාණක අතුරු ප්‍රතිඵලයක් විතරමද? එහෙම නැත්තං මෙතෙක් වෙච්ච හැමදෙයක්ම සිද්ධ වුණේ මේ මොහොත වෙනුවෙන්මද?