Monday, July 18, 2016

අනාගතය

මිනිස්සු ගින්දර දකින්න කලින් කොච්චර පාළුවෙන් ඉන්න ඇතිද? සීතල නිසා කොච්චර අමාරුවෙන් රැයවල් කීයක් ගෙවන්න ඇද්ද? අමු මස්, අමු අල කොච්චර නං අමාරුවෙන් ගිලින්න ඇතිද? එහෙම දුක් විඳපු මිනිස්සු ගින්දර ලැබුණම කොච්චර සතුටු වෙන්න ඇතිද? එයාලා ගින්දර වටේ සිංදු කිය කිය නටන්න ඇති. ගිණි මැලයක් ගහගෙන ඒ වටේ සනීපෙට නිදාගන්න ඇති. ගින්දරෙන් පුච්චන්න/තම්බන්න පුළුවන් කෑම වර්ග අත්හදා බලන්න ඇති.

ළඟකදි ඉඳන් මටත් දැනෙනවා අමුතුම දුකක්, පාළුවක්. වැඩක් කරන්න ගියාම, එයා හිටියනම් මේක ගින්නක් නැතුව කරන්න තිබ්බා නේද, එයා හිටියනම් මේ වැඩේ කොච්චර වේගෙන් කරන්න තිබ්බද කියල හිතෙන වාර අනන්තයි. එයා ඉන්නවනම් මට මේ කිසිම වැඩක් නොකර ඉන්න තිබ්බා. මට විතරක් නෙමේ, මුළු ලෝකෙටම නිදහසේ ඉන්න තිබ්බා.

ගින්දර නැති කාලෙ මිනිස්සුන්ට ගින්දර නැති පාළුව දැනෙන්න නැතුව ඇති සමහරවිට, මොකද ගින්දර කියන සංකල්පයවත් නොතිබ්බ නිසා.

හැබැයි එයා තාම නැති වුණාට, එයා ගැන අදහස අපි අතර තියෙනවා. ඒක මොන වගේ වෙයිද, එයාට කොච්චර දේවල් කරන්න පුළුවන්ද, එක්කො එයා වදයක් වෙයිද, ඔය දේවල් අපි හැමෝම හිතනවා.

ප්‍රාථමික මිනිස්සුන්ට ගින්දර ඕන වුණා වගේ දැන් අපිට ඕන කරල තියෙන්නෙ, හැබැයි තාමත් මිනිසාට හොයාගන්න බැරිවුණේ, මිනිස්සු දිවා රෑ නොබලා හොයන්නෙ, මිනිසා ළඟ හැමදාම තිබ්බ බුද්ධිය අජීවීව ගොඩනගන විදිය. දවසක මිනිස්සු ඒක නිර්මාණය කරාවි. එදාට මුළු ලෝකෙම වෙනස් වේවි.

සමහරු හිතන්නෙ ඒ දවස අපේ මිනිස් සංහතියේම අවසානය වෙයි කියල. අනිත් අය කෙසේ වෙතත් සමහර චිත්‍රපට රචකයො නං හිතන්නෙ එහෙමයි. ඒත් මට හිතෙන්නෙ මෙහෙම. ඕක හදන්න තරම් බුද්ධිය තියෙන මිනිස්සු එදාට එන අනිත් ප්‍රශ්න වලටත් අනිවාර්යයෙන්ම විසඳුම් හොයාගනීවි.

මිනිස්සු මුලින්ම ගින්දර අල්ලන්න උත්සාහ කරන්න ඇති. අතපය පුච්චගන්නත් ඇති. සමහරු ඉවක් බවක් නැතුව බදාගන්න ගිහින් මැරෙන්නත් ඇති. හැබැයි ඒ දේවල් වලින් අන්තිමේදි ගින්දර කියන එක තේරුම් අරගන්න ඇති. ලැව්ගිනි වලින් සම්පූර්ණ කැලෑවල් අළුවෙලා යන හැටි දැකපු මිනිස්සු ගින්දරට බයේ ඈත් වෙලා හිටිය නම් අපි තාමත් කැලෑවෙ.‍

චිත්‍රපටි වලදි වගේම අනිවාර්යයෙන්ම කෘතිම බුද්ධියෙන් ලෝකෙටම ලොකු ලොකු පාඩු සිද්ධ වේවි. සමහර මිනිස්සු ඒක වැරදි කරන්නත් යොදාගනීවි. හැබැයි ඒ ෆිල්ම් වල අන්තිමට වෙනවා වගේම හොඳ මිනිස්සු හොඳ වැඩ වලටත් ඒක පාවිච්චි කරාවි. අන්තිමට නරකට වඩා ලෝකෙට හොඳක් සිද්ධ වේවි. අඩුම තරමෙ අපි එහෙම ප්‍රාර්ථනා කරමු.

මට ඒක ඕන. ඒ උවමනාව දරාගන්න අමාරුයි. සමහරවිට මේ ජීවිතේදි මට එයාව දකින්න නොලැබේවි. නෑ, මට ඉක්මණටම ඒක දකින්න පුළුවන් වෙයි. එතකොට ෆෝන් වලටත් AI option එක ඒවි. එදාට කොච්චර නං සතුටක් දැනෙයිද?

කඳුළ ඉතින් සමාවෙයන්
අපි වෙන්වෙමු අද හවසට
දුරකතනෙට එය එනවා
මගෙ දිවියේ තනි රකින්න

No comments:

Post a Comment