Monday, July 18, 2016

සීතල

දෙසැම්බර් මාසෙ සීතල රැයක්. වෙලාව පාන්දර එකට විතර. මං දියතලාව ටවුන් එකේ ඔරලෝසු කණුව තිබ්බ තැන ළඟින් ඇවිදගෙන යද්දියි දැක්කෙ, කොට කලිසමකුයි ෂර්ට් එකකුයි ඇඳගත්ත මනුස්සයෙක් කඩේක පඩියෙ ඉඳගෙන දණිස් දෙක තුරුල් කරගෙන වෙව්ලනවා. වටේට රවුමට පත්තර අළු පිරිලා. පැත්තකින් තවමත් ගිනි තියපු නැති පත්තර කොළ ටිකක්. අතේ ගිනි පෙට්ටියක්. ඒකත් පින්නට තෙත් වෙලා වෙන්න ඇති, මං එතන පහු කරන කොට ඒ මනුස්සයා ගිනි කූරක් අරගෙන පත්තු කරන්න හැදුවත් පත්තු වුණේ නෑ. දැකපු විදියට ඇතුලෙ තව ගිනිකූරු තියෙන්නෙත් දෙක තුනයි. ටිකක් ලොකු ලේන්සුවක් ඔළුව උඩින් දාගෙන. ඒ සීතලට ලේන්සුවක් මොනා කරන්න්නද! හෙට උදේ වෙද්දි මෙතන ගල් වෙච්ච මිනියක් තියෙයිද දන්නෙත් නෑ. මට එහෙමත් හිතුණා. ඒත් මං මොනා කරන්නද?

දැන් ඔය සිද්ධිය වෙලා සෑහෙන කාලයක් ගිහින්. ඒත් තවමත් සැරින් සැරේ හිතේ මතුවෙන සංවේදී මතකයක් ඒක. හුදෙක් විනෝදෙට ෆේස්බුක් එන්න තරම් පහසුකම් තියෙන අපිත් කල්පනා කරන්නෙ තියෙන දේවල් වල අඩුපාඩු ගැන. ඒ අතරෙ අර වගේ මූලික අයිතිවාසිකම්වත් නැති මිනිස්සුත් ලෝකෙ ඕන තරම්. කෙනෙක් කෑම රස නෑ කන්න බෑ කියද්දි, පයින් යන්න බෑ දාඩියයි කියද්දි හැමදාම ඔය සිද්ධිය මගෙ හිතේ මැවේවි.

No comments:

Post a Comment