Monday, July 18, 2016

ආශා

ජීවිතය ජීවත් කරවන්නෙ බලාපොරොත්තු, එහෙමත් නැත්නම් ආශා. මුළු ලෝකෙම පවතින්නෙ ඔය ආශාවල් නිසා. මුළු ලෝකෙම කිව්වට ඉතිං මිනිස්සු විතරයි. මොකද සත්තුන්ට බලාපොරොත්තු තියෙනවද නැද්ද කියල අපි දන්නෙ නෑනෙ.

ඇයි මං ජීවත් වෙන්නෙ? මං ජීවත් වෙන්නෙ, දවසක ඉෂ්ඨ කරගන්න හිතන් ඉන්න බලාපොරොත්තු ගොඩාක් තියෙන නිසා. එතකොට ඒ ඔක්කොම ඉෂ්ඨකරගත්තොත්......? ඒක කවදාවත් වෙන දෙයක් නෙමේ. මොකද ඒ වෙනකොට තවත් අළුත් බලාපොරොත්තු ගොඩක් ඇවිත් තියේවි. අන්තිමට මැරෙන මොහොතෙදිත්, "තව කාලයක් ඉන්න තිබ්බනම්" කියන ආශාව ඇතිවේවි. එහෙම තමා ජීවිතේ.

වෙලාවකට මට හිතෙනවා මෙහෙම. දවසක මට කිසිම ආශාවක් නැතිවුණොත් මොකද කරන්නෙ? කෑම කන්න ගිහින් ඇයි කෑම කන්නෙ කියල හිතල බැලුවම, කෑමට ආස හින්දනෙ කන්නෙ කියල හිතෙනකොටම එන ප්‍රශ්නෙ තමා එතකොට කෑම කන්න ආශාවක් නැත්තං මොකද කරන්නෙ කියන එක. අනිත් හැම වැඩකදිත් එහෙමයි. මේ වැඩේට/මේකෙ අනාගත ප්‍රතිඵලයට ආස නැත්තං මං මොනවා කරයිද?

ආදරේ කියන්නෙත් ආශාවක්. හැමෝටම ආසකරන සල්ලාලකමෙන් වෙනස් වෙලා විශේෂ වෙච්ච ගතිගුණ, රූප ලක්ෂණ එකතුවකට විතරක් ආස කරන එක, මට එයාගෙ ළඟින් ඉන්න ඕන, මං නැතත් එයා සතුටින් ඉන්න ඕන කියන කැමැත්ත තමා සමාජයෙන් පිළිගත්ත ආදරය. සමහර රාජධානි විනාස වෙන්න වගේම ශිෂ්ඨාචාර පැතිරෙන්නත් හේතුවුණේ ඔය කියන ආදරයලු. එතකොට ඒ ආශාව නැතිවුණොත් මොනවා වෙයිද?

ඇයි මං ඉගෙන ගන්නෙ? සරලව කිව්වොත් සල්ලි ඕන නිසා, පිළිගැනීමක් ඕන නිසා. එතකොට සල්ලි වලට, පිළිගැනීමට තියෙන ආශාව නැතිවුණොත්?

ඔය ගැන කල්පනා කරනකොට අන්තිමට හිතෙන්නෙ මෙහෙම දෙයක්. එතකොට "එතකොට ඒ ආශාවල් නැතිවුණොත්?" කියල මට හිතෙන්නෙ මං ඒ ආශාවල් වලටත් ආස නිසාද? අන්න ඒකයි වැදගත්ම දේ. මං කැමති නෑ ඒ ආශාවල් නැතිකරගන්න.
ඔව්, මං ඒ ආශාවල් වලටත් ආසයි.

No comments:

Post a Comment