Monday, July 18, 2016

ගණිතය

මට ගණන් පුළුවන්. 9දි ලකුණු සීයම තිබ්බම, සාපෙළ ගණන් පන්තියෙ වැඩිම ලකුණු තිබ්බම මට හිතුණෙ එහෙම. උසස්පෙළ ගණිතය තෝරගත්තෙත් ඒ හේතුවට. මං ආස නිසා. මට පුළුවන් නිසා. ඒ තීරණේ නං වැරැද්දක් නෑ.

හැබැයි, ඉස්සර මං ගණිතය අර්ථ දැක්වුවෙ "සුපිරියට ගැළපෙන විදියට, මිනිසා විසින් අඳුරගත්තු රටා සමූහයක්" විදියට. අන්න ඒ තීරණේ නං දැන් වැරදියි වගේ.

ඉස්සර මං ගණන් කියල ඉගෙනගත්තෙ මොනාද, දැන් ගණිතය කියල ඉගෙනගන්නෙ මොනාද කියන එක නම් සෑහෙන්න වෙනස් වෙලා. ඉස්සර මං කරේ අර කියපු රටා දැකපු එක. රටාව අධ්‍යයනය කළාම ඊළඟට එන්නෙ මොකක්ද කියන එක එච්චර දෙයක් නෙමේ. ඊළඟට එන එක වගේම අතරමැද නැත්තෙ මොනවද කියන එකත් හොයන්න පුළුවන් හොඳට තේරුම් ගත්තම. ඔය අතරෙ තව ගණනය කිරීමුත් (ඉලක්කම් සුළු කිරීම්) තිබ්බා. මට පුළුවන් වුණේ ඔන්න ඔය දේවල්.

ඉස්සර කැල් (Calculator) එකක් ළඟ තියාගන්නත් තහනම්. දැන් තත්වෙ වෙනස් වෙලා. විභාගෙදි කැල් එක අත්‍යවශ්‍ය වෙලා. ගණනය කිරීම් ගණිතය නොවන තත්වෙට පත්වෙලා. දැන් දැනෙන්නෙ, ගණිතය කියන්නෙ "එකිනෙකට සුපිරියට ගැළපෙන විදියට මිනිසා විසින් අර්ථ දක්වපු අර්ථ දැක්වීම් සමූහයකට" විදියට. ඒකෙ තියෙන්නෙ අර්ථ දැක්වීම් හරියටම තේරුම් අරගෙන හරිතැනට යොදන්න. අන්න ඒකනං මට එච්චර පුළුවන් දෙයක් නෙමේ. හැම පොඩි දේකටම අළුත් අළුත් අර්ථ දැක්වීම්. ඒ අර්ථ දැක්වීම් මත ගොඩ නැගුණු තවත් අළුත් අර්ථ දැක්වීම්. "රටා" වලින් ඉහළට ආපු මට "අර්ථ දැක්වීම්" ගැළපෙන්නෙ නෑ වගේ.

බොහෝවිට මං වැරදි ඇති. "ගණිතය" කියන අර්ථ දැක්වීම් සමූහයට අර්‍ථ දැක්වීමක් දෙන්න තරං මං දැනමුත්තෙක් නෙමේනෙ. ඔය කිව්වෙ මට හිතෙන දේ සරලව. වැරදිනං, පෙන්නල දුන්නට මං මොකුත් කියන්නෑ...

සමහරවිට ඉස්සරහට ගණිතය මට දැනෙන විදිය වෙනස් වේවි. අද රටා දකින අය ඒ වෙනකොට අර්ථ දැක්වීම් ඉගෙන ගනිමින් ඉඳීවි. හැමෝම ජීවිතේ ගොඩක් ඉස්සරහට ගිහින් තියේවි. එදාටත් මං මේ වගේ තවත් මොනා හරි ලියාවි.

No comments:

Post a Comment