Tuesday, December 13, 2016

නොදන්න තාක්ෂණය

කාලයක් තිබ්බා අතට අහුවෙච්ච හැමදේම ගලවපු. ප්ලාස්ටික් කෑල්ලක් දැක්කත් හැංගිච්ච තාක්ෂණයක් හොයපු. කිසිම දේක වටිනාකමක් නොතේරුණ ඒ කාලෙ අළුත් සෙල්ලම් බඩුවක් හම්බුණ ගමන් මුලින්ම කළේ ඒකෙන් කරන්න පුළුවන් දේවල් හොයල බලපු එක. ඒ ඔක්කොම ටික දැනගත්තට පස්සෙ කළේ නියනක් අරගෙන ගලවපු එක. ගලවන හැමවෙලාවකම ගැලෙව්වෙ ආපහු හයි කරන්න බලාගෙන තමා. ඒත් ගොඩක් සෙල්ලම් බඩු ගලවන්න හදපුවා නෙමේ. දෙතුන් පාරක් ගැලෙව්වට පස්සෙ ආයිත් හයි කරන්න බෑ. එක්කො ඇණවල දාරෙ ගිහින්. නැත්තන් ප්ලාස්ටික් කෑලි කැඩිලා. එක්කො සර්කිට් වල වයර් ගැලවිලා. හැබැයි ඒවා වලින් ඉගෙනගත්ත දේවල් නං තාමත් මතකයි.
බැට්රියකින් කරන්ට් එක එන විදිය ගැන මගේම සිද්ධාන්තයක් තිබ්බා ඒ කාලෙ. බැට්රියක දෙපැත්තෙන් ධන, ඍණ කියල කරන්ට් වර්ග දෙකක් එළියට එන අමුතුම ක්‍රමයක් ඒක. පස්සෙ කාලෙක විද්‍යාවට ඉගෙන ගත්තු දේවල් ඊට සම්පූර්ණයෙන්ම වෙනස් වුණාට, තාමත් සමහර දේවල් සරලව පැහැදිලි කරන්න පුළුවන් ඒ සිද්ධාන්තයෙන්.

ඊට පස්සෙ ට්‍රයි කළේ අළුත් දෙයක් හදන්න. ඍජිෆෝම් වලින් හෙලිකොප්ටර්, ප්ලේන් හැඩේට කපලා සැකිල්ල හදලා, මෝටරයකුයි පෙත්තකුයි බැටරියකුයි හයි කරලා උඩ යවන්න ට්‍රයි කරපු කාලයක් තිබ්බා. මාළු ටැංකියෙ යවන්න හදපු බෝට්ටු නං සාර්ථකයි. රෝද තියෙන වාහන හදන්න බෑ ඍජිෆෝම් රෝද මෝටර වලට හයි කරන්න බැරි නිසා. අනික මෝටර් දෙකක් එකසැරේ හොයාගන්න එකත් ප්‍රශ්නයක්. ලොකු වෙලා කොහොමහරි උඩ යන ප්ලේන් එකක් හදන්න බලාපොරොත්තුවක් තිබ්බා වගේ මතකයි ඒ කාලෙ.

ඊට පස්සෙ ආවෙ සර්කිට් හදපු කාලෙ. සල්ලි කීයක් හරි එකතු කරගෙන සර්කිට් බෝඩ් එකයි, ඕන කරන බඩු ටිකයි ගෙනත් බෝඩ් එකේ ඇඳල තියෙන විදියට පාස්සපු එක තමා කළේ. සර්කිට් එකේ මයික් එකෙන් කතා කරාම රේඩියෝ එකෙන් සද්දෙ ඇහෙන ඒවා, එක එක රටා වලට ලයිට් පත්තුවෙන ඒවා ඒ කාලෙ මැජික් වගේ. බෝඩ් එකේ ඇඳල තියෙන සර්කිට් එක ඇන්දෙ කව්ද, ඒක හදන්න හිතුවෙ කව්ද කියල ලොකු ප්‍රශ්නයක් තිබ්බා ඒ කාලෙ. පට්ට ලොකු සර්කිට්නෙ ඒවා ඒ කාලෙ.

ඒ ඒ කාලෙ. ඒත් දැන්. කුතුහලය නං නැති වෙලා නෑ. හැබැයි දැන් ඉස්සර වගේ කරන්න හිතෙන්නෙ නෑ. ඉස්සර නං සෙල්ලම් බඩු කෑලි කරා කිසිම ගාණක් නැතුව. ඒත් දැන් ලැප් එකක්, ෆෝන් එකක් එහෙම ගලවන්න බෑ. වගකීම් ඉස්සරහට ඇවිත්. මොනවාහරි වුණොත් මොනවා කරන්නද? අනිත් එක ඉස්සර ඒ වගේ ගැලෙව්වම තේරුම් ගන්න දෙයක් තිබ්බා. ඒ ඉගෙන ගත්ත දේවල් තාමත් මතකයි. ඒත් දැන් සම්පූර්ණයෙන්ම වෙනස්. පොඩිම Phone එකක් ගැළෙව්වත්, IC ටිකක් හයි කරපු board එකක් තියෙනවා මෙලෝ එකෙකුට තේරෙන්නෙ නැති. එක IC එකක් ඇතුලෙ කොටස් මිලියන ගාණක් තියෙනවලු. ඉතිං සංකීර්ණ වැඩියි.

ඔය ඉතින් පහුගිය අවුරුදු පහළොවක, දාසයක විතර අතීතය. තව ඒ වගේ දෙතුන් ගුණයක් ඉස්සරහට එන්න තියෙනවනෙ. බලමුකො ජීවිතේ මොන පැත්තට හැරෙයිද කියල.

Wednesday, November 23, 2016

ප. ව. 8.10

මේ ඉස්සර. කොයි කාලෙද කියලවත් මතක නැති තරම් ඉස්සර. ඒ දවස්වල මට ඔරලෝසුව ගැන, ඒකෙන් වෙලාව බලන හැටි ගැන කියල දීල තිබ්බෙ මෙහෙම. ලොකු කට්ටෙන් තමයි විනාඩි ගාණ කියවෙන්නෙ. පොඩි කට්ටෙන් තමයි පැය ගාණ දැනගන්නෙ. ඔරලෝසුවෙ වටේට ඉලක්කම් දොළහයි. ඉලක්කම් දෙකක් අතරෙ කෑලි පහක් තියෙනවා. ඒ, එක ළඟ ඉලක්කම් දෙකක් අතර තියෙන්නෙ විනාඩි පහක් නිසා. එතකොට පොඩි කට්ටෙන් පැය ගාණයි ලොකු කට්ටෙන් විනාඩි ගාණයි මැනලා කිව්වම ඒක තමා දැන් වෙලාව.

දැන් මෙහෙම විස්තර කරල ලිව්වට ඒ කාලෙ මෙලෝ දෙයක් තේරුණේ නෑ ඒ කියපු දේවල්. එක කට්ටක් මහතයි කොටයි, අනික දිගයි හීනියි. එතකොට ලොකු කට්ට කියන්නෙ මහත එකද, දිග එකද කියලවත් මට මතක හිටින්නෙ නෑ. ඔය අස්සෙ තේරුමක් නැති තත්පර කට්ටකුත් කැරකුණානෙ.

ඔය විදියට කාලයක් තිබ්බා වෙලාව කියවගන්න බැරි. ඒ කාලෙ ඩිජිටල් එව්වා තිබ්බෙත් නෑ. කාට හරි වෙලාව දැනගන්න ඕන වුණාම මං ගිහින් බලන් ඇවිත් දිග කට්ට තියෙන තැනයි අනිත් කට්ට තියෙන තැනයි කියනවා. එතකොට එයාට වෙලාව හිතාගන්න පුළුවන්නෙ.

ඔහොම ඉන්න අතරෙ දවසක් මට ඇහුණා මෙහෙම කතාවක්. "අයියෝ, දැන් අටයි දහයත් වෙලා. ප්‍රවෘත්ති භාගයක්ම ඉවර ඇති. ඉක්මණට ටීවී එක දාන්න." මං බැලුවා ඔරලෝසුව දිහා. හේතුවක් ඇතුව නෙමේ, නිකමට. එවෙලෙ තමා මං ඒක දැක්කෙ. එතන ඇඳිලා තිබ්බෙ හැමෝම හැමදාම කියල දෙන්න හදපු, වෙලාව බලන විදිය. කොට කට්ට තිබ්බෙ අටේ. දිග කට්ට දෙකේ. දෙවරක් පහ දහයයි. දැන් වෙලාව අටයි දහයයිලු. එහෙනං ඒකයි රටාව. එදා ඉඳන් මටත් පුළුවන් වුණා වෙලාව බලන්න. නවයයි පනහයි,  අටට විස්සයි වගේ ලොකු ඒවා කියාගන්න බැරි වුණාට පොඩි පොඩි වෙලාවල් බලාගන්න පුළුවන් වුණා.

අදටත් පුදුමයි. කවදාවත් බැරිවෙයි කියල හිතාගෙන හිටපු දෙයක් පුළුවන් වුණේ එක පාරටම. අනික ඕන කරන හැමදේම තිබ්බෙ මගෙ ළඟමයි. ඒ මොහොතට කලින් බෑ, ඒ මොහොතෙන් පස්සෙ පුළුවන්. ඔය සිද්ධියෙන් පස්සෙ ඔය වගේ දේවල් ගොඩාක් වුණා. ඒත් අවුරුදු ගාණක් තනියෙන් තේරුම් ගත්ත ගොඩක් දේවල් අතරෙ, අටයි දහය තමයි මුල්ම එක.

එදා ඒක ලොකු සිදුවීමක් වෙන්න පුළුවන්. ඒත් අද ආපහු හැරිල බලද්දි ඒ එක මොහොතක් විතරයි. මං ආසයි අන්න ඒ මොහොතට...

ජීවිතේ අපිට මොන දේවල් කොහොම ලැබෙයිද කියල හිතන්න බෑ. හැබැයි දවසක ආපහු හැරිලා බලලා, ජීවිතේ පුරා එකතු කරපු මොහොතවල් ගැන සතුටු වෙන්න පුළුවන් වෙයි කියල බලාපොරොත්තුවක් තියාගන්න එකේ වැරැද්දකුත් නෑ.

Wednesday, October 19, 2016

වගකීම් සහ නිදහස

හිරු එළියෙ නැහැවී මාරුතේ සුව විඳින...
සඳ සිසිල විඳිමින් ආකහේ තරු බලන...
හිමි නොවන එයා ගැන ෆේස්බුක් කවි ලියන...
හිත එන්නෙ පෙරදා විභාගය හෙට තියන...

Saturday, October 15, 2016

වේදනාව

මිනිස්සු යුතුකම් බලාපොරොත්තු වෙන්නෙ තමන්ගෙන් වෙන්න ඕන දේ නොකර. කොච්චර බුද්ධිමත් වුනත් ලෝකය දකින්නෙ සාපේක්ෂව. බුදුදහම ගැන කියවන්නෙ පන්සිල්වත් නොරැක. ජීවිතේ ජීවත් කරවන්නෙ බලාපොරොත්තු කියල තේරෙන්නෙ, බලාපොරොත්තුවක් තියෙනකොට.

අසහනය

මං ආස සැඳෑ හිරුට...
දුහුල් සළු විනිවිදින අව්වට...
මං ආස යන්තම් වැස්සට...
දිලිසෙන්න පාරෙ පිරුණු වතුරට...
මං ආස මහා හුළඟට...
හමන සුළඟට හසුව මතුවන හැඩයට...
ඇයි ආස මේවට...
දිව්‍ය ඔසුවකි දමනු බැරි අසහනයට...

බඹරු

තලන බඹරු, මල් නොතලන සමනල් ලු...
දනිමි බාඳුරා කෘමියන් කන මල්          ලු...
දාස් පෙතිය මල වටේට මැස්සන්         ලු...
නෙළුම් මලකි හිරු කුමරා එනකං       ලු...

නිර්මාණය

පළමුව අදහස හිතේ මැවෙන්නේ
දෙවනුව ඒ මත වචන යොදන්නේ
වෙනස්ම අරුතකි කවියට එන්නේ
චානක එහෙමයි පද ගළපන්නේ

අර්ථකථන

බුදල්මි ආමි ලු...
සිතු සේ ලීව ලු...
විජ්ජුයි මේඝ ලු...
කුවේර නිවස ලු...
චානා ආව ලු...
මේලෙස කීව ලු...
සතුට පමණයි ලු...
පුරාණ වැලක් ලු...

Thursday, October 13, 2016

අහිමි ඈ

දවසම  යොමා නෙත කය වෙත...
හවසම  මෙමා    අත  එය    මත...
පවසම    නිමා    සිත  විය   ලත...
නිවසම   සැමා   ඇත ඇය නැත...

සුදුස්සාට නුසුදුසු තැන

අද පන්ති කාමරයක වාඩිවෙලා ඉගෙන ගන්න මේ දේවල් වලින් සමහරක් දේවල් මීට අවුරුදු අටකට විතර කලින් ඉගෙනගත්ත මතකයි අපේ ඉස්කෝලෙ හිටපු කොල්ලෙක්ගෙන්. අවුරුදු දහතුනේදි ඌට තිබුණ දැනුම ඒ විෂයය සම්බන්ධව පාඨමාලාවක් කරන මට තවමත් නෑ. එහෙනං ඇයි ඌ වෙනුවට මං අද මෙතන ඉන්නෙ? ඒක, චෙස් ගේමකින් දිනන එකාට හමුදා සේනාංකයක් භාරදෙන, ලංකාවෙ අධ්‍යාපන ක්‍රමේද කියන්න මං දන්නෙ නෑ. හැබැයි කිසිම අරමුණක් නොතිබුණු කිසි දෙයක් නොදැන හිටපු එකෙක්, උගෙ හීනෙ ජීවත් වෙද්දි ඌ දැන් වෙන කොහේවත්.
අපි දවසක මුණ ගැහේවි. එතකොට, ඉස්සර උගෙන් නොදන්න දේවල් අහගත්ත එකා ඌව පහු කරල ගොඩාක් ඉස්සරහින් ඉඳීවි. එදාට උගෙ හිතට ලොකු දුකක් දැනේවි. මාත් සමහරවිට තවත් fb පෝස්ටුවක්  දමාවි.

දැක්ම

මං අකමැති, මිනිස්සු කරන දේවල් ගොඩක් තියෙනවා.

අවුරුදු දහස්ගාණකට කලින් මනුස්සයෙක් කියපු දෙයක්, අවුරුදු පහළොවක් විතර තිස්සෙ හිතට කාවද්දපුවම, සාධක නැතුවත් මිනිස්සු ඒක පිළිගන්න එකට මං කැමති නෑ.

අවුරුදු ලක්ෂ ගාණක් මිනිස්සු ජීවත් වෙච්ච විදිය අමතක කරල, අවුරුදු දෙතුන් සීයක ඉතිහාසය දිහා බලල, "මිනිසා" කියන එක නිර්වචනය කරනවට මං කැමති නෑ.

මිනිස්සු, පුළුවන්කම තියෙද්දිත්, අනුන්ට සාපේක්ෂව අනුන් දිහා නොබලන එකට මං කැමති නෑ.

මිනිස්සුන්ට විද්‍යාවෙන් කරන්න පුළුවන් දේවල් වල සීමාවක් තියෙන නිසා මිනිස් මොළේට වඩා දියුණු කෘතිම බුද්ධියක් හදන්න කවදාවත් බෑ කියල කියන එකට මං කැමති නෑ.

ලියන්න ගොඩාක් දේවල් තියෙද්දි, ලියන්න ගියාම ඒ එකක්වත් ඔළුවට එන්නෙ නැති එකට මං කොහෙත්ම කැමති නෑ.

ද ටාගට්

ආරම්භය ගමේ ඉස්කෝලෙන්. ශිෂ්‍යත්ව පන්ති නං ගියා තමා. ඒත් පාස් වුණේ වාසනාවට. තේරීමක් නෑ, කෙලින්ම ලොකු ඉස්කෝලෙට. ඊළඟට සාපෙළ. ඒකත් පාස්. විකල්ප දෙකයි. ගණන් හදල මොනා කරන්නද, තුවාලෙකටවත් බේත් දාගන්න පුළුවන් වුණොත් කොච්චර දෙයක්ද? ඒත් කාටද පුළුවන් පාඩම් කරන්න. ගණන් හදන එක හොඳා ඊට වැඩිය. ඊළඟට උසස්පෙළ. ඒකත් පාස්. විකල්ප නෑ, හොඳම තැනට.

අරමුණක් නැතුව තීරණ වලින් ජීවිතේ ආපු දුර. ඊළඟට පළවෙනි වාරය. ආපහු විකල්ප. මොන වගේ එකෙක්ද වෙන්න ඕන. අරමුණක් නැත්තං, ප්‍රතිඵල වලින් යන්න පුළුවන් උපරිම තැන තමා තීරණය. අනාගතයත් තීරණය වෙලා ඉවරයි. හැබැයි,
කවදාවත් ඕන වුණාද මෙතනට එන්න? නෑ.
ඉන්න තැනට කැමතිද? ඔව්.
යන තැනට කැමති වෙයිද? දන්නෙ නෑ.
එතනට යාවිද? විශ්වාසයක් නෑ.

බලාපොරොත්තුනං, එමට. ඒත් අරමුණක්..... තාමත් නෑ.

කාලයේ තාලයට

උන් පෙන්නන
මට පෙනෙන
වසාගත් නිරුවත
විලාසිතාව....

නිසි තැන

වැලකට නොමැත වැර අරටුව උස යන්ට
ගසකට පමණි හැක්කේ එහි බර ගන්ට
දෙතැනක් නොදී දෙකටම සමතැන් දෙන්ට
හරයක් නැති ගහක් දවසක බිහි වෙන්ට

හැඩෙත් සලකලා වෙන්වෙන පිටත රුවෙන්
එකයි බින්දුවයි ගත්තොත් ඉලක්කමෙන්
බින්දු දහක් යෙදුවත් ඔය එකට කලින්
එකට පසුව බින්දුව දෙයි දහයෙ ගුණෙන්

දහස් ගණන් පරම්පරා මියයද්දී
කළ යුතු දෑ දෙකට බෙදා පිළිගද්දී
තමන් සතුව ඇති යුතුකම් සපුරද්දී
සක්වල ඉඳන් ගොඩ බැහැලද ලොකු සිද්දී

හැඟුමක අවසානය

ඔය දෙපස මැද ඉඳන් ජීවිතෙන් සමුගන්න
මේ දෑතෙ හිරවෙච්ච සුසුමකට කන් දෙන්න
එකවරම මේලොවින් හිනැහෙමින් මියයන්න
මරණයෙන් මතු යළිත් එන්නම් එතෙක් ඉන්න

හීන හෙවත් ඉටු නොවෙන බලාපොරොත්තු

එයාව මට හම්බ වෙන්නෙ ගොඩක් වෙලාවට බස් එකේදි. සමහර වෙලාවට පාරෙ ඇවිදගෙන යද්දි. කැන්ටිමේදිත් නැතුවම නෙමේ. මං හිතන් ඉන්න කෙනාමයි එයා. ගොඩක් වෙලාවට තළෙළුයි, කලාතුරකින් සුදුයි. හරියටම මගෙ හිතේ තියෙන රූපෙම දෙයියො මවල දීලා වගේ. වයසත් අවුලක් නෑ. අවුරුදු දාසයක දාහතක විතර පෙනුමක් තමා තියෙන්නෙ. එයාම තමා මුලින්ම කතා කරන්නෙත්. අපි යාළු වෙලා ගොඩාක් කාලයක් ගතවෙන්නෙත් නෑ. මට තේරෙනවා එයා තමා කෙනා කියල. හැමදාම මං බලාපොරොත්තුවෙන් හිටපු ගතිගුණමයි ඒ. අපි කොච්චර තැන්වල යනවද. එයයි මමයි. හැමදාම කොහේහරි පන්සලක, එහෙම නැත්තං මුහුදු වෙරළක. සමහර දවස් වලට එයා එනවා අපේ ගෙදර. සමහර වෙලාවට මං යනවා එයාගෙ ගෙදර. එයාගෙ අම්මත් සුජීව ප්‍රසන්න ආරච්චිගෙ කතාවල වගේ හරිම හොඳයි. ඒත් ඒ කතාවල වගේ අපි අවාසනාවන්ත නෑ. දුෂ්ඨයෙක් නෑ අපේ කතාවෙ.

අපි බඳින්නෙ අපේම ගෙදර. අපේ කියන්නෙ එයාගෙයි මගෙයි ගෙදර. හොටෙල් නෑ, නුවරඑළි නෑ.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
අවුරුදු ගාණකට පස්සෙ අපිට ළමයිත් ඉන්නවා. ජීවත් වෙන්නෙ මේකට නේද කියල හිතෙන්නෙ එතකොට. ඒත් උන් හොඳට ඉගෙනගන්නවද කියල මට කවදාවත් දැනගන්න ලැබෙන්නෙ නෑ. තිත් පේළිය ඉවර වෙන්නෙ එයා බස් එකෙන් බහින්න ළං වුණාම. දරුවන්ට හොඳ තැනකට යන්න තරම් කාලයක් නෑ එතකොට.

"වෙන්වීම දුකක් වෙන්නෙ සාමාන්‍ය මිනිස්සුන්ට. අටලෝ දහමෙන් සැලෙන එකෙක් නෙමේ මං". එයාව පාර අයිනෙ තනි කරලා බස් එක ඉස්සරහට යද්දි, එහෙම නැත්තං එයා වෙන කොල්ලෙක්ගෙ අතින් අල්ලගද්දි, මං හිත හදාගන්නෙ එහෙම හිතලා.

Monday, August 22, 2016

නොගැළපීම

මෙසේ වේනම් කෙසේ වේවිද...
වෙහෙස නොහදා යන්න නොහැකිද...
සිතූ සිතටත් අගුළු ලා අද...
මලසුනකි නුඹ, පහන මා හද...

සැඩ හිරුට වුව
පෙති මිලින වන
මලක් කුමටද
නැතත් කම් නැත

දවසක් ලැබේවි....
කෙනෙකුත් ඉඳීවි....
නමුදු, මිහිරාවි....
නුඹ නම් නොවේවි....

විදුලි පංකා පෙති තුනක් යට..
ගණන් කරනා පළමු දවසට..
නොයන් කිසි දින අන්ධ විලසට..
සොඳුරු දිවියකි හිමි නුඹට හෙට..

අවාසනාව

මේ එකෝමත් එක කාලෙක, මීට අවුරුදු දෙකකට විතර කලින් මට හම්බ වෙච්ච කෙල්ලෙකුගෙ කතාවක්. කෙල්ල අනූපහේ. ගෙවල් සීතල කඳුකරේ. මෙයා ඉපදුන ගමන් අම්මා තාත්තත් එක්ක තරහවෙලා අම්මගෙ අම්මලැයි දිහා ගිහින්. මෙයාව බලාගෙන තියෙන්නෙ අනිත් ආච්චිලු. ඒ පිටිකිරි දීලලු. එයාට මව්කිරි දුන්නෙ නැති තරහට එයා අදටත් කියන්නෙ කවදාවත් අම්මට සලකන්නෙ නැහැ කියලා. මෙයාව ආච්චි ගාවට ගත්තට පස්සෙ අම්මා ආයිත් තාත්තා ගාවට ඇවිත්. ඒත් කෙල්ලව අරගෙන නැහැ. හේතුව ඉතිං දෙයියො තමා දන්නෙ. කෙල්ල O/L කරන කොට ආච්චි අසනීප වෙලා. එතකොට හැමෝම කියන්න ගත්තලු මේකිට උගන්නන්න ගිහින් තමා මෙහෙම උනේ කියලා. කෙල්ලට ඒකට මාර අවුල්. කොහොම හරි O/L ඉවර වෙලා, A/L කරන්න මෙයා පට්ට ආසාවෙන් ලු හිටියෙ. කොහොමහරි එයාගෙ අනාගතේ හදාගන්න එක තමා එයාගෙ බලාපොරොත්තුව වෙලා තියෙන්නෙ. ඒත් තාත්තා කිව්වලු A/L කරන්න එපා කියලා. ආච්චිත් ලෙඩගානෙ නිසා කෙල්ල අසරණයි. ඊට පස්සෙ කෙල්ලව කොළඹ වත්තක ඉන්න තාත්තගෙ අක්කගෙ ගෙදර නවත්තලා.

එහෙ ඉඳන් කෙල්ල ඒ ළඟ වැඩපළක වැඩට ගියා. ඒ කාලෙදි තමා අපි හම්බවුණෙත්, ඒ වගේම එයා මට ඔය කතාව කිව්වෙත්. එයා ඉපදුනාට පස්සෙ තව නංගි කෙනෙකුයි මල්ලිලා දෙන්නෙකුයි හම්බුනාලු. එයාල කිසිම අවුලක් නැතුව අම්මා ගාවලු හිටියෙ. ළඟදි අම්මා රට ගිහින්. දැං නංගි O/L ඉවරයිලු. තාත්තා දැන් කියනවලු පවුලෙ එකෙක් හරි ඉගෙනගන්න ඕන කියලා. ඒ නිසා බලෙන්ම නංගිට A/L කරවනවලු. මෙයා කියන්නෙ, නංගි ඉගෙන ගන්න ආසාවක් නැති චරිතයක් කියලා. එයාට බලෙන්ලු උගන්නන්නෙ. මෙයා අඬ අඬ අහන්නෙ ඇයි එයාට ඉගෙන ගන්න නොදී නංගිට බලෙන් උගන්නන්නෙ කියලා. ළඟදි ඉඳන් තාත්තා මෙයාට ගෙදර එන්න කියනවලු. නැන්දට කියලා තියෙනවලු ආපහු කෙල්ලව එවන්නෙ නැහැ කියලා. කෙල්ල කියන විදියට දැං එයාව අනිත් තුන්දෙනාගෙ වැඩකාරකමට ගන්නලු එන්න කියන්නෙ.

මට කරන්න දෙයක් තිබ්බෙ නෑ, අහන් ඉන්න එක ඇරෙන්න. මං මොනා කරන්නද? ඒක එයාගෙ අවාසනාවට වුණ දෙයක්. එයාගෙ අනාගතය විනාශ කළේ සමාජය (එයා හෙව්වෙ ගෙදරින් නොලැබුණ ආදරේ). ඒකට ඉතින් කරන්න දෙයක් නෑ.

ඒත් කතාව අහන් ඉද්දි මට හිතුනෙ මෙහෙම. ජීවිතේ හැමදේම තියෙන සමහරුත් සමාජය විසයි කියල තේරුම් නොගෙන අමාරුවෙ වැටෙන්න යද්දි, ජීවිතේ ගොඩක් දේවල් නොලැබුණ මේ වගේ අයත් ඒ දේවල් හොයන්න ගිහින් අමාරුවෙ වැටෙද්දි, ඔය අතරමැද ඉන්න මං වගේ අය තමා වාසනාවන්තම..... ඇති දේකුත් නෑ, නැති දේකුත් නෑ. ලොකු දුකකුත් නෑ, ලොකු බලාපොරොත්තුත් නෑ.

චරිත ගොඩක්

ගෙදරදි කියන්නෙ රංග. මොන්ටිසෝරියෙදි කිව්වෙ මධුරංග. තුන වසරෙදි චන්න ඇමති. පහ වසරෙදි ලපයා. වෑන් ඇන්ටි කතා කළේ මහබාගෙ කියල. හතේදි හෝමෝ ඉරෙක්ටස්. අටේදි කපුටා. අල්ලපු ගමේ උන්ට ප්‍රොපා. උසස්පෙළ කරද්දි පිස්සා. එයාට චාන. තව සමහරුන්ට සිංහල චානක.

ඒත් මට හැමදාමත්..... "මම".

පොරොන්දුව

ආදරණීය ඔයා වෙත....

කොහොමද සැප සනීප? මං නං වෙනද වගේම තමා. මතක් වෙනව හැම වෙලේම ඔයාව. ගිය මාසෙ හත් වෙනිදට, මං ඔයාව අන්තිමට දැකල අවුරුද්දක්! ඒ අන්තිමට දැක්කෙත් අවුරුද්දකට විතර පස්සෙනෙ. ආයිත් දකින්න ආසයි. ඒත් නොදැක ඉන්න තරමට හොඳා. එදා අන්තිම දවසෙ ඔයා කියපු ප්‍රශ්නෙ විසඳගත්තද? උපන්දිනේට මැසේජ් එකක් දැම්මට ඒක ගැන අහන්න බැරිවුණානෙ.

ඔයාට තාමත් කව්රුවත් හම්බවුණේ නැද්ද? තාම බැන්ඳෙ නෑ කියල නම් විශ්වාසයි. මට නොකිය බඳින්නෑ කියල මං දන්නවනෙ. බඳින දවසට කියන්න. මං එන්නෙ නම් නෑ. ඔයා ඒක දන්නවනෙ. හැබැයි ප්‍රාර්ථනා කරන්නම් හැමදාටම සන්තෝසෙන් ඉන්න.

මමත් තාම බැන්ඳෙ නෑ. මතකයි එදත් ඔයා තුන් හතර පාරක්ම මගෙන් ඇහුවා, ඇයි තාම බැන්ඳෙ නැත්තෙ කියල. ඔයාට තේරෙන්නෙ නැති වුනාට, මං තාම ඉගෙන ගන්නවා. ඉස්සර ඔයා ඉස්කෝලෙ ගියා වගේ මං තාමත් යනවා. ඉගෙනගෙන රස්සාවක් කරන දවසක ඒ ගැන හිතල බලන්න ඕන. ඔයා ඉල්ලපු විදියට, මං බඳින දවසට අනිවා කියන්නම්.

කොහොමද, දැන් තට්ටු ගෙදරට පුරුදුද? එදා කිව්ව වගේ තාමත් වත්තෙ අය නැතුව පාළුද? අම්මයි, තාත්තයි සනීපෙන්ද? මං එයාලව මතක් කළා කියල කියන්න. තාමත් වෙලාවකට හිතෙනවා මේ ඔක්කොම අතෑරල ඔයාව ළඟට ගන්න. ඒත් මමයි ඔයයි විතරක් නෙමේ තව ගොඩක් දෙනෙක් දුක්විඳීවි අන්තිමට.

මොනාවුනත් අර පොරොන්දුව තාමත් එහෙම්මමයි. දවසක එන්නම් ඔයාව බලන්න. එදාට දුවෙක් හදල තියන්න, අම්මවයි ඔයාවයි දුවවයි එකට තියල, ඔය ලස්සන එන්නෙ ජාන වලින්ද බලන්න.

මීට,
චාන.

සල්ලාලයා

මං ආසයි
තොලක් උරන්න...
ලෙළෙන උකුළ දෙස
හොරැහින් බලන්න...

පිම්බුණු ළය මඬල
රහසින් විඳින්න...
නිරුවත් දෙකකුල් මැද
සිහින දකින්න...

කම් නැත නගින්නැති
සත්පුරුෂ මිනිසුනේ
මට
සල්ලාලයයි කියන්න....

- උපුටාගෙන කපාකොටා දමන ලද්දකි-

ජීවිත මාෆියාව

ජීවිතය මාෆියා ගේමකි. අපි එහි රඟන මාෆියෝ වෙමු. මෙහෙයවන්නාත්, තමාත් හැර අන් කිසිවෙකුත් විශ්වාස කළ නොහැක.
-ශ්‍රේෂ්ඨ කවි චානා-

තත්සම සංස්කෘතිය

දහඩියෙන් නැහැවීත්
මේස් දා සපත්තුද
කකුල් දෙකටම කලිසම්ද
අත්දිගට කමිසද ඇඳ
පෙන්නමි වහල්බව
වෙනස් විය නොහැක මට

කොන්ක්‍රීට් වනාන්තරය

කොටි ඉන්නෙ කොයිවෙලෙත් බඩගින්නෙ. ගෝනෙක්, මුවෙක් දැක්කොත් ඉවරයි. ඒත් සිංහයො ඉන්නෙ බඩ පුරවගෙන. මුව රංචුවක් ළඟින් ගියත් සමහර වෙලාවට ගණන් ගන්නෙ නෑ. නරි තමා මරු. ඉඳල හිටල හාවෙක් දෙන්නෙක් අල්ලනවනං තමා. ඒත් සිංහයන්ගෙන්, කොටින්ගෙන් ඉතුරුවෙන කටු ටික කාලා ආතල් එකේ ඉන්න හොඳට දන්නවා උන්. ඔය ඔක්කොටම හපන් කිඹුල්ලු. කොච්චර ලොකු සතෙක් උනත් වතුරට බැස්සොත් ඉවරයි. ආයෙ ගොඩ යාමක් නෑ.
අන්තිමට මේ හැමදේකින්ම මැරෙන්නෙ අහිංසක මුවොයි, ගෝන්නුයි, සීබ්‍රලයි.
කොහොමහරි අලි තමා හොඳම. කොච්චර ලොකුවුණත් කාටවත් කරදරයක් නෑ. කව්රුත් කරදර කරන්නෙත් නෑ.

Tuesday, August 9, 2016

මේ මොහොත

එක එක දේවල් කල්පනා කර කර ඉන්නකොට එකපාරටම හිතට එන දෙයක් "මේ මොහොත" කියන්නෙ. විස්තර කරන්න බැරි, අමුතුම හැඟීමක් හිතට දෙන අදහසක් ඒක.

ඒ වෙලාවට පොඩ්ඩක් නැවතිලා හිතන්න ඕන දෙයක් තමා "ජීවිතය" සහ "මේ මොහොත". මං ඉබේ ජීවත්වෙන එක නවත්තලා "මේ මොහොතක්" ගැන හිතන්න පටන් ගත්තු මේ මොහොත. ගොඩාක් "මේ මොහොතවල්" පහු කරගෙන ඇවිත් දැන් ඉන්න මේ මොහොත ගැන හිතන මේ මොහොත. තව ඉස්සරහට වෙන්න තියෙන, අවිනිශ්චිත සිදුවීම් ගොඩාක් ගැන කිසිම අවබෝධයක් නැතුව, "මේ මොහොත" ගැන විතරක් හිතන මේ මොහොත. අවුරුදු දස දහස් ගණනකින් සිදු නොවිච්ච විදියට ලෝකෙ දියුණුවෙවී තියෙන කාලෙකම ජීවත්වෙන්න සිද්ධවෙච්ච මං, දැන් ජීවත් වෙන "මේ මොහොත".

ඔය ගැන හිතනකොට මුලින්ම මතක් වෙන දෙයක් තමා මීට කලින් මේ මොහොත ගැන හිතපු මොහොතවල්. අන්තිම සැරේ, මීට අවුරුදු දෙක තුනකට කලින්. එවෙලෙත් එක පාරටම හිතුනෙ එවෙලෙ හිටපු ඒ මොහොත ගැන. ඒ ගැන කල්පනා කළා මතකයි ටිකක් වෙලා. ඊට පස්සෙ එකපාරටම මෙන්න මං ආයිත් "මේ මොහොත"ක. බලනකොට අවුරුදු දෙක තුනක්ම ගෙවිල ගිහින්. ඒ අතර මැද කාලෙදි මතක, අත්දැකීම්, සිදුවීම්, අවස්ථා සෑහෙන්න. ඒත් "මේ මොහොතවල්" එකක්වත් නෑ.

එතකොට මට මතක්වෙනවා මෙහෙම දෙයක්. එදා හිතුණා මෙහෙම. තව අවුරුදු ගාණකින් මං වෙනස් වෙලා, ඉස්කෝලෙ ඉවර කරලා, රස්සාවක් කරාවි. ඒ කරන ගමන් මේ මොහොත ගැන හිතන මොහොතක් ඒවි. එදාට මොනා හිතේවිද? ඔන්න එක පාරටම මං දැන් ඒ මොහොතෙ. අවුරුදු ගාණක් අනාගතයේ. එදා හිටපු කෙනා අද සම්පූර්ණයෙන් වෙනස් කෙනෙක්.

දැනුත් මට හිතෙනවා මෙහෙම. දවසක මං වෙනස් වෙලා "මේ මේ විදියට" ජීවත් වේවි. එහෙම වෙන්න තව අවුරුදු ගාණකුත් ගතවේවි. මේ වගේම දවසක ආයිත් මේ වගේම ඒ මොහොත ගැන හිතන මොහොතකුත් ඒවි. හැබැයි අවුලක් නෑ, මට අවුරුදු ගාණක් බලන් ඉන්න නං වෙන්නෙ නෑ. මොකද මේ මොහොතෙන් මං කෙලින්ම යන්නෙ එදාට ඒ මොහොතට නිසා.

Saturday, August 6, 2016

විශ්වාසය

සාමාන්‍යයෙන් විභාගවල ලකුණු දෙන්නෙ බිංදුවෙන් පටන් අරන් හැම හරි උත්තරේකටම ටික ටික ලකුණු එකතු වෙන විදියට. කොහොමහරි උපරිම ලකුණු 100%යි. හැබැයි අපි අපිට ජීවිතේ පුරාම හම්බවෙන මිනිස්සුන්ට ලකුණු දෙන්නෙ අනිත් පැත්තට. කෙනෙක්ව පළවෙනි පාරට හම්බවුණාම අපි කරන්නෙ මුලින්ම ලකුණු 100%ක් දීලා ඊට පස්සෙ දකින හැම වැරැද්දකටම ලකුණු ටික ටික අඩුකරන එක. පාස් මට්ටම 50% විතර. ඉතිං සමහරු පාස්, සමහරු ෆේල්. හැබැයි කලාතුරකින් කෙනෙක් තමා 95%ට වැඩියෙන් තියාගෙන A+ එකක් ගන්නෙ.

Tuesday, July 19, 2016

ත්‍රිමූර්තිය

ගත අරා මත නුරා
නෙත වරා අත මරා
සිත පුරා ශ්‍රැති සරා
ඇත සුරා ඇති තුරා

Monday, July 18, 2016

තීරණ

ජීවිතේ දිහා ආපහු හැරිල බැලුවම, ටිකෙන් ටික වුණත් ඇවිත් තියෙන්නෙ දිග ගමනක්. දැන් මේ ඉන්න තත්වෙට ආවෙ විවිධ සංධිස්ථාන වලදි ගත්ත විවිධ තීරණ නිසා.

අපි ගන්න සමහර තීරණ හරි. සමහර ඒවා වැරදියි. සමහර තීරණ කොච්චර හරි වුණත් අපි ක්‍රියාත්මක කරන විදිය වැරදි වෙන්න පුළුවන්. සමහර තීරණ පිටින් හරි සරල වුණාට ඇතුලෙන් ගොඩක් සංකීර්ණ වෙන්න පුළුවන්. සමහර විට නිවැරදිම තීරණේ ගන්න තරම් අපිට දැනුමක් නැතිවෙන්නත් පුළුවන්. එක්කො දැනට තියෙන දත්ත දිහා බලල ගන්න තීරණ වැරදි වෙන්න පුළුවන්, වුවමනා තරමට දත්ත නැති නිසා. ඒ වගේම අද හොඳයි කියල ගන්න තීරණයක් හෙට වැරදි වෙන්නත් පුළුවන්.

වැරදි තීරණයක් ගත්තොත් ඒකෙන් වෙන හානියට වඩා ලොකුයි, "ඇයි ඒ තීරණේ ගත්තෙ" කියල දැනෙන පසුතැවීම. "ඇයි මම තව ටිකක් වැඩිපුර හිතුවෙ නැත්තෙ" කියල හිතෙන කොට, ආපහු ඒ මොහොතට යන්න ඕන වුණාට හිතට එන්නෙ මොකුත් කරකියාගන්න බැරි හැඟීමක්. අතීතය කොහොම වෙනස් කරන්නද? ආපහු හරවන්න බැරි ඒ තීරණ, අමතක වෙලා යනකම්ම හිතට බරක්. ඒත් අවුලක් නෑ, කාලයත් එක්ක කවදහරි අමතක වෙලා යාවිනෙ.

ඒත් අපි ගන්න සමහර තීරණ වලින් වේදනා විඳින්නෙ අනිත් අය. තීරණේ කිසිම වැරැද්දක් නැතිවෙන්න පුළුවන්. ඒත් එයාලට ඒ වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරන්න සිද්ධවුණා වෙන්න බැරිකමක් නෑනෙ. අන්න ඒ වගේ තීරණ නං ජීවිත කාලෙ පුරාම අමතක කරන්න අමාරුයි. මොකද, 'වැරැද්දක් වුණාද' කියන එක හිතෙන් අයින් වෙන්නෙ නෑ ලේසියෙන්. දැනුවත්ව හෝ නොදැනුවත්ව ගත්ත ඒ තීරණ ජීවිතේ හැමදාටම බරක්.

අපිට අතීතය වෙනස් කරන්න බෑ. පුළුවන් වුණත්, වැරදි නැත්තං ඒ තීරණ වෙනස් කරන්න ඕනකමකුත් නෑ. කරන්න පුළුවන් එකම දේ සමාව ඉල්ලන එක. සමහරවිට එයාලට දැන් මතකවත් නැතුව ඇති. සමහරවිට කවදාවත් අමතක වෙන්නෙ නැතුව ඇති. එක්කො මුළු ජීවිත කාලෙ පුරාම අපිට වෛර කරනවත් ඇති. හැබැයි, ඒ තීරණ වල බර හැමදාම හිතේ තියාගෙන අපිත් දුක් විඳින බව එයාල හිතන්නෙ නෑ.