Monday, July 18, 2016

අම්මා කියපු සිංදු

ඉස්සර නිදා ගන්න කලින් අම්මා සිංදුවක් කිව්වෙ නැත්තං නින්ද යන්නෙ නෑ. නිදිමතක් අහලකවත් නැතුව ඇඳට ගිය ඒ කාලෙ සිංදුවක් අහගෙන ඉද්දි නින්ද ආවෙ ඉබේටම.

අන්න බලන් ඉදිකඩ ළඟ...

දණාගාද්දි ඇවිදින්නට...

හිනැහේවී බෝනික්කා...

පුතුනේ, මේ අහගන්න පුතුනේ...

තවත් ඒවා ගොඩක් තිබ්බා. ඔය සිංදුවල තිබ්බෙ දුක, නැත්තං බලාපොරොත්තු. නැත්තං මට දැණුනෙ එහෙම. තාලයට වැඩිය තේරුම තමා ඉස්සරත් දැක්කෙ. වැදුණා හිත ඇතුලටම. වෙන එකක් කියන්න කියල කියන්න තරම් තේරුමක් නොතිබ්බට හැමදාම අහන් හිටියෙ දුකෙන්! සමහරවිට මං වැරදි ඇති. දැන් සමහර වෙලාවට නං තේරුම ගැන හිතද්දි හිතෙන්නෙ ඇයි දෙයියනේ මට දුක හිතෙන්නෙ කියල. සමහරවිට "දුවව ඉස්කෝලෙ යවලා ඉගෙන ගනියි කියල බලාපොරොත්තු වෙන අම්මගෙ බලාපොරොත්තු, වෙන රටක ඉඳන් මෙහෙ ඇවිත් තනිවෙච්ච බෝනික්කගෙ හැඟීම්" ඔය දුකට හේතු වෙන්න ඇති. මට හිතුනෙම ඒව දුකක් විදියට. අදටත් මං ආස නෑ ශෝකාන්ත වලට.

එදා විඳපු රස සමහරවිට අද මෙතනට එන්න හේතුවෙන්නත් ඇති. සමහර විට අද මෙහෙම ලියන්නෙත් ඒ නිසා වෙන්න ඇති. සමහර විට ඒ සිංදු නොඇහුණා නම් මං මීට වඩා හොඳ හෝ නරක, වෙනස්ම කෙනෙක් වෙන්නත් පුළුවනි.

මොනා වුණත් ඒක අතීතය. කැමති වුණත් අකමැති වුණත් තියන් ඉන්න සිද්ධවෙන, වෙනස් කරන්න බැරි මතකය.

පාන්දර දෙක තුන වෙලත් නින්ද යන්නැති දැන් ඉන්න එකාට, ඉස්සර රෑට කාල බුදියගත්තු එකාව මතක් වෙද්දි හීල්ලෙන්නෙ ඉබේටම. ඒ දුක නැති වෙන්නෙ මේ වගේ පෝස්ට් එකකට වැටෙන ලයික්, කමෙන්ට් දැක්කම.


අනාගතේ වෙනස් කරන්න පුළුවන් (ඇති). සිංදුවකින් මනසට කරන බලපෑම ගැන තව ටිකක් හොයල බලල, හොඳ සිංදු ටිකක් හොයල තියාගන්න ඕන දැම්මම.

No comments:

Post a Comment