මේ ඉස්සර. කොයි කාලෙද කියලවත් මතක නැති තරම් ඉස්සර. ඒ දවස්වල මට ඔරලෝසුව ගැන, ඒකෙන් වෙලාව බලන හැටි ගැන කියල දීල තිබ්බෙ මෙහෙම. ලොකු කට්ටෙන් තමයි විනාඩි ගාණ කියවෙන්නෙ. පොඩි කට්ටෙන් තමයි පැය ගාණ දැනගන්නෙ. ඔරලෝසුවෙ වටේට ඉලක්කම් දොළහයි. ඉලක්කම් දෙකක් අතරෙ කෑලි පහක් තියෙනවා. ඒ, එක ළඟ ඉලක්කම් දෙකක් අතර තියෙන්නෙ විනාඩි පහක් නිසා. එතකොට පොඩි කට්ටෙන් පැය ගාණයි ලොකු කට්ටෙන් විනාඩි ගාණයි මැනලා කිව්වම ඒක තමා දැන් වෙලාව.
දැන් මෙහෙම විස්තර කරල ලිව්වට ඒ කාලෙ මෙලෝ දෙයක් තේරුණේ නෑ ඒ කියපු දේවල්. එක කට්ටක් මහතයි කොටයි, අනික දිගයි හීනියි. එතකොට ලොකු කට්ට කියන්නෙ මහත එකද, දිග එකද කියලවත් මට මතක හිටින්නෙ නෑ. ඔය අස්සෙ තේරුමක් නැති තත්පර කට්ටකුත් කැරකුණානෙ.
ඔය විදියට කාලයක් තිබ්බා වෙලාව කියවගන්න බැරි. ඒ කාලෙ ඩිජිටල් එව්වා තිබ්බෙත් නෑ. කාට හරි වෙලාව දැනගන්න ඕන වුණාම මං ගිහින් බලන් ඇවිත් දිග කට්ට තියෙන තැනයි අනිත් කට්ට තියෙන තැනයි කියනවා. එතකොට එයාට වෙලාව හිතාගන්න පුළුවන්නෙ.
ඔහොම ඉන්න අතරෙ දවසක් මට ඇහුණා මෙහෙම කතාවක්. "අයියෝ, දැන් අටයි දහයත් වෙලා. ප්‍රවෘත්ති භාගයක්ම ඉවර ඇති. ඉක්මණට ටීවී එක දාන්න." මං බැලුවා ඔරලෝසුව දිහා. හේතුවක් ඇතුව නෙමේ, නිකමට. එවෙලෙ තමා මං ඒක දැක්කෙ. එතන ඇඳිලා තිබ්බෙ හැමෝම හැමදාම කියල දෙන්න හදපු, වෙලාව බලන විදිය. කොට කට්ට තිබ්බෙ අටේ. දිග කට්ට දෙකේ. දෙවරක් පහ දහයයි. දැන් වෙලාව අටයි දහයයිලු. එහෙනං ඒකයි රටාව. එදා ඉඳන් මටත් පුළුවන් වුණා වෙලාව බලන්න. නවයයි පනහයි, අටට විස්සයි වගේ ලොකු ඒවා කියාගන්න බැරි වුණාට පොඩි පොඩි වෙලාවල් බලාගන්න පුළුවන් වුණා.
අදටත් පුදුමයි. කවදාවත් බැරිවෙයි කියල හිතාගෙන හිටපු දෙයක් පුළුවන් වුණේ එක පාරටම. අනික ඕන කරන හැමදේම තිබ්බෙ මගෙ ළඟමයි. ඒ මොහොතට කලින් බෑ, ඒ මොහොතෙන් පස්සෙ පුළුවන්. ඔය සිද්ධියෙන් පස්සෙ ඔය වගේ දේවල් ගොඩාක් වුණා. ඒත් අවුරුදු ගාණක් තනියෙන් තේරුම් ගත්ත ගොඩක් දේවල් අතරෙ, අටයි දහය තමයි මුල්ම එක.
එදා ඒක ලොකු සිදුවීමක් වෙන්න පුළුවන්. ඒත් අද ආපහු හැරිල බලද්දි ඒ එක මොහොතක් විතරයි. මං ආසයි අන්න ඒ මොහොතට...
ජීවිතේ අපිට මොන දේවල් කොහොම ලැබෙයිද කියල හිතන්න බෑ. හැබැයි දවසක ආපහු හැරිලා බලලා, ජීවිතේ පුරා එකතු කරපු මොහොතවල් ගැන සතුටු වෙන්න පුළුවන් වෙයි කියල බලාපොරොත්තුවක් තියාගන්න එකේ වැරැද්දකුත් නෑ.