Monday, July 18, 2016

සුවඳ

මුල් කාලෙ මිනිස්සු ඇස් වැඩිපුරම පාවිච්චි කළේ දඩයමටයි ආරක්ෂාවටයි. අද ගොඩක් මිනිස්සු වැඩිපුරම කරන්නෙ කෘතිම තිරයක් දිහා බලාගෙන ඉන්න එක. තව කාලයක් පරිණාමය වෙද්දි, මිනිස්සු ඉතුරු වෙලා හිටියොත්, අහිතකර කිරණ අහිතකර නැති, දිග වෙලාවක් එකම දේ දිහා බලාගෙන ඉන්න පුළුවන් ඇස් දෙකක් මිනිස්සුන්ට ලැබෙයි. ඉස්සර ආරක්ෂාවට පාවිච්චි කරපු, හැමවෙලේම විපරමෙන් හිටපු කන් දෙකත් අද පාවිච්චි වෙන්නෙ කතා කරද්දියි, සිංදු අහද්දියි. දවසක කන්දෙකත්, ළඟ විතරක් ඇහෙන විදියට වෙනස් වෙයි. ඒ වගේම අමු කෑමවල රස බලන්න හැදිච්ච රසාංකුර, අද තියෙන බලෙන් රස ගන්නපු කෑම නිසා අනාගතේදි අඩපණ වෙයි. හැබැයි හම නං සාමාන්‍ය භාවිතය වැඩිවෙලා වගේම රළු භාවිතය අඩුවෙලා නිසා තව තවත් සංවේදී වේවි.

හරි, එතකොට නහය? නහය දැනටමත් යන එන මං නැති තැනට ඇවිත්. ඉස්සර ඇස් දෙකට වඩා ඉව විශ්වාස කරපු කාලෙ නහයට තිබ්බ තැන අද නැතිවෙලා ගිහින්. තව ඉස්සරහට නහයක් ඇත්තෙම නැති මිනිස්සු ජාතියක් ඇතිවෙයි. කොහොම වුණත් මං ලියන්න හැදුවෙ ඒ ගැන නෙමේ, සුවඳත් එක්ක බැඳුණු අතීත අත්දැකීම් ගැන.

අපි තොරතුරු ගන්න වැඩිපුරම පාවිච්චි කරන්නෙ ඇස්. ඊළඟට කන්. අන්තිමට නහය. කෑම නරක් වෙලාද, කලින් ඇඳපු ඇඳුමක් ආයිත් අඳින්න පුළුවන්ද, මොනාහරි පිච්චෙනවද කියල ඇරෙන්න සුවඳෙන් වෙන ලොකු තොරතුරු ගන්නෙ නෑ අපි. හැබැයි මතක හිටින විදිහ ගත්තම රූප වලට ශබ්ද වලට වැඩිය සුවඳ හරි අමුතුයි. සුවඳ මතක හිටිනවට වඩා, මතක වලට සුවඳ හිටින එකයි අමුතු. ගොඩක් මතක වලට තියෙනවා සුවඳක්.

අපේ ගමේ තිබ්බා සුවඳක්. සීතලත් එක්ක හුළං හමන වෙලාවක, යන්තං වැස්ස වැටෙන්න පටන් ගද්දි එන සුවඳක් ඒක. තාමත් ගමේ තියෙන්නෙ ඒ සුවඳ. හැබැයි ටිකක් විතර වාහන දුම, තාර සුවඳ එකතු වෙලා. මෙහෙදිත් කලාතුරකින් දවසක, හිටපු ගමන් දැනෙනවා ඒ සුවඳ. ඒවෙලාවට කොහේ හිටියත් දැනෙන්නෙ තේ වත්තක් මැද ඉන්නවා වගේ.

"නෑම" භාවනාවක් වගේ. කල්පනා කරන්න හොඳම වෙලාව ඒක. කවි ලියන්න හිතෙන්නෙ, මේ වගේ පෝස්ට් වලට අදහස් එන්නෙ නානකොට. නොවිසඳුනු සමහර ප්‍රශ්න විසඳෙන්නෙත් ඒ වෙලාවට. ඒ වගේ සුන්දර දේවල් ගොඩක් හිතේ මැවෙන්නෙ සබන් සුවඳත් එක්ක. අළුත් කොහොඹ සබන් කෑල්ලක, බේබි සබන් කෑල්ලක සුවඳෙ හිරවෙලා තියෙන්නෙ ඔය වගේ මතක දහස් ගාණක්. මං ආසම සුවඳක් ඒක. දවසක ඒ නිෂ්පාදන නැවතිලා අළුත් ඒවා ආවම, ඒවා නැති පාළුව දැනේවි. (සමහරවිට ඒ මොකුත් නැතුව අමතක වෙලාම යන්නත් පුළුවන්).

ගැහැණු පිරිමි එකිනෙකාට ආකර්ෂණය වෙන්නෙ සුවඳටලු. ගැළපෙන සහකාරයව හොයාගන්න සුවඳත් ප්‍රධාන සාධකයක්ලු. හැබැයි සුවඳෙන් කෙනෙක් හොයාගන්න එක කොහොම වුණත්, හොයාගත්ත කෙනා සුවඳින් මතක තියාගන්න එක නං හැමෝම කරන දෙයක්...
සුවඳ විඳින්නදෝ... කඳුළු පිසින්නදෝ... සැමරුමක් ලෙස මා සුරතේ... පුංචි ලේන්සුව තබා ගියේ....

ලියන්න දේවල් නං ගොඩාක් හිතේ පිරිලා. ඒත් මාස දෙකක් තිස්සෙ ලියලත් තාමත් මෙච්චරයි ලියාගන්න පුළුවන් වුණේ. ඒ සුවඳ මතක මතක නැති නිසා නෙමේ, සුවඳ නැතුව අමතක නිසා. තවත් සමහර මතක ලියන්න බෑ. වචන නැති සිතුවිලි ලියන්නෙ කොහොමද? දැනට මේ ඇති. වෙන මොකක්හරි ලියන්න පටන්ගන්න කාලෙ හරි.

මේ ව්‍යායාමය ලයික් ගැනීමට නොව සුවඳට අහිමි සමතැන ලබාදීමටය.

1 comment: