ජීවිතේ දිහා ආපහු හැරිල බැලුවම, ටිකෙන් ටික වුණත් ඇවිත් තියෙන්නෙ දිග ගමනක්. දැන් මේ ඉන්න තත්වෙට ආවෙ විවිධ සංධිස්ථාන වලදි ගත්ත විවිධ තීරණ නිසා.
අපි ගන්න සමහර තීරණ හරි. සමහර ඒවා වැරදියි. සමහර තීරණ කොච්චර හරි වුණත් අපි ක්‍රියාත්මක කරන විදිය වැරදි වෙන්න පුළුවන්. සමහර තීරණ පිටින් හරි සරල වුණාට ඇතුලෙන් ගොඩක් සංකීර්ණ වෙන්න පුළුවන්. සමහර විට නිවැරදිම තීරණේ ගන්න තරම් අපිට දැනුමක් නැතිවෙන්නත් පුළුවන්. එක්කො දැනට තියෙන දත්ත දිහා බලල ගන්න තීරණ වැරදි වෙන්න පුළුවන්, වුවමනා තරමට දත්ත නැති නිසා. ඒ වගේම අද හොඳයි කියල ගන්න තීරණයක් හෙට වැරදි වෙන්නත් පුළුවන්.
වැරදි තීරණයක් ගත්තොත් ඒකෙන් වෙන හානියට වඩා ලොකුයි, "ඇයි ඒ තීරණේ ගත්තෙ" කියල දැනෙන පසුතැවීම. "ඇයි මම තව ටිකක් වැඩිපුර හිතුවෙ නැත්තෙ" කියල හිතෙන කොට, ආපහු ඒ මොහොතට යන්න ඕන වුණාට හිතට එන්නෙ මොකුත් කරකියාගන්න බැරි හැඟීමක්. අතීතය කොහොම වෙනස් කරන්නද? ආපහු හරවන්න බැරි ඒ තීරණ, අමතක වෙලා යනකම්ම හිතට බරක්. ඒත් අවුලක් නෑ, කාලයත් එක්ක කවදහරි අමතක වෙලා යාවිනෙ.
ඒත් අපි ගන්න සමහර තීරණ වලින් වේදනා විඳින්නෙ අනිත් අය. තීරණේ කිසිම වැරැද්දක් නැතිවෙන්න පුළුවන්. ඒත් එයාලට ඒ වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරන්න සිද්ධවුණා වෙන්න බැරිකමක් නෑනෙ. අන්න ඒ වගේ තීරණ නං ජීවිත කාලෙ පුරාම අමතක කරන්න අමාරුයි. මොකද, 'වැරැද්දක් වුණාද' කියන එක හිතෙන් අයින් වෙන්නෙ නෑ ලේසියෙන්. දැනුවත්ව හෝ නොදැනුවත්ව ගත්ත ඒ තීරණ ජීවිතේ හැමදාටම බරක්.
අපිට අතීතය වෙනස් කරන්න බෑ. පුළුවන් වුණත්, වැරදි නැත්තං ඒ තීරණ වෙනස් කරන්න ඕනකමකුත් නෑ. කරන්න පුළුවන් එකම දේ සමාව ඉල්ලන එක. සමහරවිට එයාලට දැන් මතකවත් නැතුව ඇති. සමහරවිට කවදාවත් අමතක වෙන්නෙ නැතුව ඇති. එක්කො මුළු ජීවිත කාලෙ පුරාම අපිට වෛර කරනවත් ඇති. හැබැයි, ඒ තීරණ වල බර හැමදාම හිතේ තියාගෙන අපිත් දුක් විඳින බව එයාල හිතන්නෙ නෑ.
No comments:
Post a Comment