Monday, August 22, 2016

නොගැළපීම

මෙසේ වේනම් කෙසේ වේවිද...
වෙහෙස නොහදා යන්න නොහැකිද...
සිතූ සිතටත් අගුළු ලා අද...
මලසුනකි නුඹ, පහන මා හද...

සැඩ හිරුට වුව
පෙති මිලින වන
මලක් කුමටද
නැතත් කම් නැත

දවසක් ලැබේවි....
කෙනෙකුත් ඉඳීවි....
නමුදු, මිහිරාවි....
නුඹ නම් නොවේවි....

විදුලි පංකා පෙති තුනක් යට..
ගණන් කරනා පළමු දවසට..
නොයන් කිසි දින අන්ධ විලසට..
සොඳුරු දිවියකි හිමි නුඹට හෙට..

අවාසනාව

මේ එකෝමත් එක කාලෙක, මීට අවුරුදු දෙකකට විතර කලින් මට හම්බ වෙච්ච කෙල්ලෙකුගෙ කතාවක්. කෙල්ල අනූපහේ. ගෙවල් සීතල කඳුකරේ. මෙයා ඉපදුන ගමන් අම්මා තාත්තත් එක්ක තරහවෙලා අම්මගෙ අම්මලැයි දිහා ගිහින්. මෙයාව බලාගෙන තියෙන්නෙ අනිත් ආච්චිලු. ඒ පිටිකිරි දීලලු. එයාට මව්කිරි දුන්නෙ නැති තරහට එයා අදටත් කියන්නෙ කවදාවත් අම්මට සලකන්නෙ නැහැ කියලා. මෙයාව ආච්චි ගාවට ගත්තට පස්සෙ අම්මා ආයිත් තාත්තා ගාවට ඇවිත්. ඒත් කෙල්ලව අරගෙන නැහැ. හේතුව ඉතිං දෙයියො තමා දන්නෙ. කෙල්ල O/L කරන කොට ආච්චි අසනීප වෙලා. එතකොට හැමෝම කියන්න ගත්තලු මේකිට උගන්නන්න ගිහින් තමා මෙහෙම උනේ කියලා. කෙල්ලට ඒකට මාර අවුල්. කොහොම හරි O/L ඉවර වෙලා, A/L කරන්න මෙයා පට්ට ආසාවෙන් ලු හිටියෙ. කොහොමහරි එයාගෙ අනාගතේ හදාගන්න එක තමා එයාගෙ බලාපොරොත්තුව වෙලා තියෙන්නෙ. ඒත් තාත්තා කිව්වලු A/L කරන්න එපා කියලා. ආච්චිත් ලෙඩගානෙ නිසා කෙල්ල අසරණයි. ඊට පස්සෙ කෙල්ලව කොළඹ වත්තක ඉන්න තාත්තගෙ අක්කගෙ ගෙදර නවත්තලා.

එහෙ ඉඳන් කෙල්ල ඒ ළඟ වැඩපළක වැඩට ගියා. ඒ කාලෙදි තමා අපි හම්බවුණෙත්, ඒ වගේම එයා මට ඔය කතාව කිව්වෙත්. එයා ඉපදුනාට පස්සෙ තව නංගි කෙනෙකුයි මල්ලිලා දෙන්නෙකුයි හම්බුනාලු. එයාල කිසිම අවුලක් නැතුව අම්මා ගාවලු හිටියෙ. ළඟදි අම්මා රට ගිහින්. දැං නංගි O/L ඉවරයිලු. තාත්තා දැන් කියනවලු පවුලෙ එකෙක් හරි ඉගෙනගන්න ඕන කියලා. ඒ නිසා බලෙන්ම නංගිට A/L කරවනවලු. මෙයා කියන්නෙ, නංගි ඉගෙන ගන්න ආසාවක් නැති චරිතයක් කියලා. එයාට බලෙන්ලු උගන්නන්නෙ. මෙයා අඬ අඬ අහන්නෙ ඇයි එයාට ඉගෙන ගන්න නොදී නංගිට බලෙන් උගන්නන්නෙ කියලා. ළඟදි ඉඳන් තාත්තා මෙයාට ගෙදර එන්න කියනවලු. නැන්දට කියලා තියෙනවලු ආපහු කෙල්ලව එවන්නෙ නැහැ කියලා. කෙල්ල කියන විදියට දැං එයාව අනිත් තුන්දෙනාගෙ වැඩකාරකමට ගන්නලු එන්න කියන්නෙ.

මට කරන්න දෙයක් තිබ්බෙ නෑ, අහන් ඉන්න එක ඇරෙන්න. මං මොනා කරන්නද? ඒක එයාගෙ අවාසනාවට වුණ දෙයක්. එයාගෙ අනාගතය විනාශ කළේ සමාජය (එයා හෙව්වෙ ගෙදරින් නොලැබුණ ආදරේ). ඒකට ඉතින් කරන්න දෙයක් නෑ.

ඒත් කතාව අහන් ඉද්දි මට හිතුනෙ මෙහෙම. ජීවිතේ හැමදේම තියෙන සමහරුත් සමාජය විසයි කියල තේරුම් නොගෙන අමාරුවෙ වැටෙන්න යද්දි, ජීවිතේ ගොඩක් දේවල් නොලැබුණ මේ වගේ අයත් ඒ දේවල් හොයන්න ගිහින් අමාරුවෙ වැටෙද්දි, ඔය අතරමැද ඉන්න මං වගේ අය තමා වාසනාවන්තම..... ඇති දේකුත් නෑ, නැති දේකුත් නෑ. ලොකු දුකකුත් නෑ, ලොකු බලාපොරොත්තුත් නෑ.

චරිත ගොඩක්

ගෙදරදි කියන්නෙ රංග. මොන්ටිසෝරියෙදි කිව්වෙ මධුරංග. තුන වසරෙදි චන්න ඇමති. පහ වසරෙදි ලපයා. වෑන් ඇන්ටි කතා කළේ මහබාගෙ කියල. හතේදි හෝමෝ ඉරෙක්ටස්. අටේදි කපුටා. අල්ලපු ගමේ උන්ට ප්‍රොපා. උසස්පෙළ කරද්දි පිස්සා. එයාට චාන. තව සමහරුන්ට සිංහල චානක.

ඒත් මට හැමදාමත්..... "මම".

පොරොන්දුව

ආදරණීය ඔයා වෙත....

කොහොමද සැප සනීප? මං නං වෙනද වගේම තමා. මතක් වෙනව හැම වෙලේම ඔයාව. ගිය මාසෙ හත් වෙනිදට, මං ඔයාව අන්තිමට දැකල අවුරුද්දක්! ඒ අන්තිමට දැක්කෙත් අවුරුද්දකට විතර පස්සෙනෙ. ආයිත් දකින්න ආසයි. ඒත් නොදැක ඉන්න තරමට හොඳා. එදා අන්තිම දවසෙ ඔයා කියපු ප්‍රශ්නෙ විසඳගත්තද? උපන්දිනේට මැසේජ් එකක් දැම්මට ඒක ගැන අහන්න බැරිවුණානෙ.

ඔයාට තාමත් කව්රුවත් හම්බවුණේ නැද්ද? තාම බැන්ඳෙ නෑ කියල නම් විශ්වාසයි. මට නොකිය බඳින්නෑ කියල මං දන්නවනෙ. බඳින දවසට කියන්න. මං එන්නෙ නම් නෑ. ඔයා ඒක දන්නවනෙ. හැබැයි ප්‍රාර්ථනා කරන්නම් හැමදාටම සන්තෝසෙන් ඉන්න.

මමත් තාම බැන්ඳෙ නෑ. මතකයි එදත් ඔයා තුන් හතර පාරක්ම මගෙන් ඇහුවා, ඇයි තාම බැන්ඳෙ නැත්තෙ කියල. ඔයාට තේරෙන්නෙ නැති වුනාට, මං තාම ඉගෙන ගන්නවා. ඉස්සර ඔයා ඉස්කෝලෙ ගියා වගේ මං තාමත් යනවා. ඉගෙනගෙන රස්සාවක් කරන දවසක ඒ ගැන හිතල බලන්න ඕන. ඔයා ඉල්ලපු විදියට, මං බඳින දවසට අනිවා කියන්නම්.

කොහොමද, දැන් තට්ටු ගෙදරට පුරුදුද? එදා කිව්ව වගේ තාමත් වත්තෙ අය නැතුව පාළුද? අම්මයි, තාත්තයි සනීපෙන්ද? මං එයාලව මතක් කළා කියල කියන්න. තාමත් වෙලාවකට හිතෙනවා මේ ඔක්කොම අතෑරල ඔයාව ළඟට ගන්න. ඒත් මමයි ඔයයි විතරක් නෙමේ තව ගොඩක් දෙනෙක් දුක්විඳීවි අන්තිමට.

මොනාවුනත් අර පොරොන්දුව තාමත් එහෙම්මමයි. දවසක එන්නම් ඔයාව බලන්න. එදාට දුවෙක් හදල තියන්න, අම්මවයි ඔයාවයි දුවවයි එකට තියල, ඔය ලස්සන එන්නෙ ජාන වලින්ද බලන්න.

මීට,
චාන.

සල්ලාලයා

මං ආසයි
තොලක් උරන්න...
ලෙළෙන උකුළ දෙස
හොරැහින් බලන්න...

පිම්බුණු ළය මඬල
රහසින් විඳින්න...
නිරුවත් දෙකකුල් මැද
සිහින දකින්න...

කම් නැත නගින්නැති
සත්පුරුෂ මිනිසුනේ
මට
සල්ලාලයයි කියන්න....

- උපුටාගෙන කපාකොටා දමන ලද්දකි-

ජීවිත මාෆියාව

ජීවිතය මාෆියා ගේමකි. අපි එහි රඟන මාෆියෝ වෙමු. මෙහෙයවන්නාත්, තමාත් හැර අන් කිසිවෙකුත් විශ්වාස කළ නොහැක.
-ශ්‍රේෂ්ඨ කවි චානා-

තත්සම සංස්කෘතිය

දහඩියෙන් නැහැවීත්
මේස් දා සපත්තුද
කකුල් දෙකටම කලිසම්ද
අත්දිගට කමිසද ඇඳ
පෙන්නමි වහල්බව
වෙනස් විය නොහැක මට

කොන්ක්‍රීට් වනාන්තරය

කොටි ඉන්නෙ කොයිවෙලෙත් බඩගින්නෙ. ගෝනෙක්, මුවෙක් දැක්කොත් ඉවරයි. ඒත් සිංහයො ඉන්නෙ බඩ පුරවගෙන. මුව රංචුවක් ළඟින් ගියත් සමහර වෙලාවට ගණන් ගන්නෙ නෑ. නරි තමා මරු. ඉඳල හිටල හාවෙක් දෙන්නෙක් අල්ලනවනං තමා. ඒත් සිංහයන්ගෙන්, කොටින්ගෙන් ඉතුරුවෙන කටු ටික කාලා ආතල් එකේ ඉන්න හොඳට දන්නවා උන්. ඔය ඔක්කොටම හපන් කිඹුල්ලු. කොච්චර ලොකු සතෙක් උනත් වතුරට බැස්සොත් ඉවරයි. ආයෙ ගොඩ යාමක් නෑ.
අන්තිමට මේ හැමදේකින්ම මැරෙන්නෙ අහිංසක මුවොයි, ගෝන්නුයි, සීබ්‍රලයි.
කොහොමහරි අලි තමා හොඳම. කොච්චර ලොකුවුණත් කාටවත් කරදරයක් නෑ. කව්රුත් කරදර කරන්නෙත් නෑ.

Tuesday, August 9, 2016

මේ මොහොත

එක එක දේවල් කල්පනා කර කර ඉන්නකොට එකපාරටම හිතට එන දෙයක් "මේ මොහොත" කියන්නෙ. විස්තර කරන්න බැරි, අමුතුම හැඟීමක් හිතට දෙන අදහසක් ඒක.

ඒ වෙලාවට පොඩ්ඩක් නැවතිලා හිතන්න ඕන දෙයක් තමා "ජීවිතය" සහ "මේ මොහොත". මං ඉබේ ජීවත්වෙන එක නවත්තලා "මේ මොහොතක්" ගැන හිතන්න පටන් ගත්තු මේ මොහොත. ගොඩාක් "මේ මොහොතවල්" පහු කරගෙන ඇවිත් දැන් ඉන්න මේ මොහොත ගැන හිතන මේ මොහොත. තව ඉස්සරහට වෙන්න තියෙන, අවිනිශ්චිත සිදුවීම් ගොඩාක් ගැන කිසිම අවබෝධයක් නැතුව, "මේ මොහොත" ගැන විතරක් හිතන මේ මොහොත. අවුරුදු දස දහස් ගණනකින් සිදු නොවිච්ච විදියට ලෝකෙ දියුණුවෙවී තියෙන කාලෙකම ජීවත්වෙන්න සිද්ධවෙච්ච මං, දැන් ජීවත් වෙන "මේ මොහොත".

ඔය ගැන හිතනකොට මුලින්ම මතක් වෙන දෙයක් තමා මීට කලින් මේ මොහොත ගැන හිතපු මොහොතවල්. අන්තිම සැරේ, මීට අවුරුදු දෙක තුනකට කලින්. එවෙලෙත් එක පාරටම හිතුනෙ එවෙලෙ හිටපු ඒ මොහොත ගැන. ඒ ගැන කල්පනා කළා මතකයි ටිකක් වෙලා. ඊට පස්සෙ එකපාරටම මෙන්න මං ආයිත් "මේ මොහොත"ක. බලනකොට අවුරුදු දෙක තුනක්ම ගෙවිල ගිහින්. ඒ අතර මැද කාලෙදි මතක, අත්දැකීම්, සිදුවීම්, අවස්ථා සෑහෙන්න. ඒත් "මේ මොහොතවල්" එකක්වත් නෑ.

එතකොට මට මතක්වෙනවා මෙහෙම දෙයක්. එදා හිතුණා මෙහෙම. තව අවුරුදු ගාණකින් මං වෙනස් වෙලා, ඉස්කෝලෙ ඉවර කරලා, රස්සාවක් කරාවි. ඒ කරන ගමන් මේ මොහොත ගැන හිතන මොහොතක් ඒවි. එදාට මොනා හිතේවිද? ඔන්න එක පාරටම මං දැන් ඒ මොහොතෙ. අවුරුදු ගාණක් අනාගතයේ. එදා හිටපු කෙනා අද සම්පූර්ණයෙන් වෙනස් කෙනෙක්.

දැනුත් මට හිතෙනවා මෙහෙම. දවසක මං වෙනස් වෙලා "මේ මේ විදියට" ජීවත් වේවි. එහෙම වෙන්න තව අවුරුදු ගාණකුත් ගතවේවි. මේ වගේම දවසක ආයිත් මේ වගේම ඒ මොහොත ගැන හිතන මොහොතකුත් ඒවි. හැබැයි අවුලක් නෑ, මට අවුරුදු ගාණක් බලන් ඉන්න නං වෙන්නෙ නෑ. මොකද මේ මොහොතෙන් මං කෙලින්ම යන්නෙ එදාට ඒ මොහොතට නිසා.

Saturday, August 6, 2016

විශ්වාසය

සාමාන්‍යයෙන් විභාගවල ලකුණු දෙන්නෙ බිංදුවෙන් පටන් අරන් හැම හරි උත්තරේකටම ටික ටික ලකුණු එකතු වෙන විදියට. කොහොමහරි උපරිම ලකුණු 100%යි. හැබැයි අපි අපිට ජීවිතේ පුරාම හම්බවෙන මිනිස්සුන්ට ලකුණු දෙන්නෙ අනිත් පැත්තට. කෙනෙක්ව පළවෙනි පාරට හම්බවුණාම අපි කරන්නෙ මුලින්ම ලකුණු 100%ක් දීලා ඊට පස්සෙ දකින හැම වැරැද්දකටම ලකුණු ටික ටික අඩුකරන එක. පාස් මට්ටම 50% විතර. ඉතිං සමහරු පාස්, සමහරු ෆේල්. හැබැයි කලාතුරකින් කෙනෙක් තමා 95%ට වැඩියෙන් තියාගෙන A+ එකක් ගන්නෙ.

Tuesday, July 19, 2016

ත්‍රිමූර්තිය

ගත අරා මත නුරා
නෙත වරා අත මරා
සිත පුරා ශ්‍රැති සරා
ඇත සුරා ඇති තුරා

Monday, July 18, 2016

තීරණ

ජීවිතේ දිහා ආපහු හැරිල බැලුවම, ටිකෙන් ටික වුණත් ඇවිත් තියෙන්නෙ දිග ගමනක්. දැන් මේ ඉන්න තත්වෙට ආවෙ විවිධ සංධිස්ථාන වලදි ගත්ත විවිධ තීරණ නිසා.

අපි ගන්න සමහර තීරණ හරි. සමහර ඒවා වැරදියි. සමහර තීරණ කොච්චර හරි වුණත් අපි ක්‍රියාත්මක කරන විදිය වැරදි වෙන්න පුළුවන්. සමහර තීරණ පිටින් හරි සරල වුණාට ඇතුලෙන් ගොඩක් සංකීර්ණ වෙන්න පුළුවන්. සමහර විට නිවැරදිම තීරණේ ගන්න තරම් අපිට දැනුමක් නැතිවෙන්නත් පුළුවන්. එක්කො දැනට තියෙන දත්ත දිහා බලල ගන්න තීරණ වැරදි වෙන්න පුළුවන්, වුවමනා තරමට දත්ත නැති නිසා. ඒ වගේම අද හොඳයි කියල ගන්න තීරණයක් හෙට වැරදි වෙන්නත් පුළුවන්.

වැරදි තීරණයක් ගත්තොත් ඒකෙන් වෙන හානියට වඩා ලොකුයි, "ඇයි ඒ තීරණේ ගත්තෙ" කියල දැනෙන පසුතැවීම. "ඇයි මම තව ටිකක් වැඩිපුර හිතුවෙ නැත්තෙ" කියල හිතෙන කොට, ආපහු ඒ මොහොතට යන්න ඕන වුණාට හිතට එන්නෙ මොකුත් කරකියාගන්න බැරි හැඟීමක්. අතීතය කොහොම වෙනස් කරන්නද? ආපහු හරවන්න බැරි ඒ තීරණ, අමතක වෙලා යනකම්ම හිතට බරක්. ඒත් අවුලක් නෑ, කාලයත් එක්ක කවදහරි අමතක වෙලා යාවිනෙ.

ඒත් අපි ගන්න සමහර තීරණ වලින් වේදනා විඳින්නෙ අනිත් අය. තීරණේ කිසිම වැරැද්දක් නැතිවෙන්න පුළුවන්. ඒත් එයාලට ඒ වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරන්න සිද්ධවුණා වෙන්න බැරිකමක් නෑනෙ. අන්න ඒ වගේ තීරණ නං ජීවිත කාලෙ පුරාම අමතක කරන්න අමාරුයි. මොකද, 'වැරැද්දක් වුණාද' කියන එක හිතෙන් අයින් වෙන්නෙ නෑ ලේසියෙන්. දැනුවත්ව හෝ නොදැනුවත්ව ගත්ත ඒ තීරණ ජීවිතේ හැමදාටම බරක්.

අපිට අතීතය වෙනස් කරන්න බෑ. පුළුවන් වුණත්, වැරදි නැත්තං ඒ තීරණ වෙනස් කරන්න ඕනකමකුත් නෑ. කරන්න පුළුවන් එකම දේ සමාව ඉල්ලන එක. සමහරවිට එයාලට දැන් මතකවත් නැතුව ඇති. සමහරවිට කවදාවත් අමතක වෙන්නෙ නැතුව ඇති. එක්කො මුළු ජීවිත කාලෙ පුරාම අපිට වෛර කරනවත් ඇති. හැබැයි, ඒ තීරණ වල බර හැමදාම හිතේ තියාගෙන අපිත් දුක් විඳින බව එයාල හිතන්නෙ නෑ.

සීතල

දෙසැම්බර් මාසෙ සීතල රැයක්. වෙලාව පාන්දර එකට විතර. මං දියතලාව ටවුන් එකේ ඔරලෝසු කණුව තිබ්බ තැන ළඟින් ඇවිදගෙන යද්දියි දැක්කෙ, කොට කලිසමකුයි ෂර්ට් එකකුයි ඇඳගත්ත මනුස්සයෙක් කඩේක පඩියෙ ඉඳගෙන දණිස් දෙක තුරුල් කරගෙන වෙව්ලනවා. වටේට රවුමට පත්තර අළු පිරිලා. පැත්තකින් තවමත් ගිනි තියපු නැති පත්තර කොළ ටිකක්. අතේ ගිනි පෙට්ටියක්. ඒකත් පින්නට තෙත් වෙලා වෙන්න ඇති, මං එතන පහු කරන කොට ඒ මනුස්සයා ගිනි කූරක් අරගෙන පත්තු කරන්න හැදුවත් පත්තු වුණේ නෑ. දැකපු විදියට ඇතුලෙ තව ගිනිකූරු තියෙන්නෙත් දෙක තුනයි. ටිකක් ලොකු ලේන්සුවක් ඔළුව උඩින් දාගෙන. ඒ සීතලට ලේන්සුවක් මොනා කරන්න්නද! හෙට උදේ වෙද්දි මෙතන ගල් වෙච්ච මිනියක් තියෙයිද දන්නෙත් නෑ. මට එහෙමත් හිතුණා. ඒත් මං මොනා කරන්නද?

දැන් ඔය සිද්ධිය වෙලා සෑහෙන කාලයක් ගිහින්. ඒත් තවමත් සැරින් සැරේ හිතේ මතුවෙන සංවේදී මතකයක් ඒක. හුදෙක් විනෝදෙට ෆේස්බුක් එන්න තරම් පහසුකම් තියෙන අපිත් කල්පනා කරන්නෙ තියෙන දේවල් වල අඩුපාඩු ගැන. ඒ අතරෙ අර වගේ මූලික අයිතිවාසිකම්වත් නැති මිනිස්සුත් ලෝකෙ ඕන තරම්. කෙනෙක් කෑම රස නෑ කන්න බෑ කියද්දි, පයින් යන්න බෑ දාඩියයි කියද්දි හැමදාම ඔය සිද්ධිය මගෙ හිතේ මැවේවි.

දේදුන්නෙ පාට

මිනිස්සුන්ගෙ පැවැත්ම තීරණය වුණේ ලිංගික ආසාව මත. ආසාව සංසිඳවගන්න ගිහින් හටගත්තු කළල වලින් තමයි ඊළඟ පරම්පරාව නිර්මාණය වුණේ. හැබැයි මිනිස්සු උපත් පාලන ක්‍රම හොයාගත්තට පස්සෙ (ඒ කියන්නෙ වර්තමානයේ සහ අනාගතයේ) කළලයක් ඇතිවෙන්න ප්‍රධාන හේතුව ලිංගික ආසාව නෙමෙයි දරුවන්ට තියෙන ආසාව. මිනිස්සු දරුවන්ට ආසයි. ලිංගික ක්‍රියාකාරකම් සාමාන්‍ය දෙයක් වෙලා තියෙන බටහිර රටවල ගෑණු මිනිස්සු විවාහ වෙන්න ප්‍රධාන හේතුව ඔය කියන දරුවන් සෑදීමේ ආසාව තමයි. එතකොට අනුරාගය සහ ප්‍රජනනය අතර මූලික සම්බන්ධතාව නැති වෙලා තියෙන නිසා ඩාවින් කියපු විදියට අනුරාගය ක්ෂය වෙලා යන්න ඕන. එතකොට බොහෝවිට ගෑණු, පිරිමි වර්ගවාදයක් ඒවි. මට කියන්න ඕන වුණේ මේකයි. නළදරු උපත් ක්‍රමත් දැනටම තියෙන නිසා තව පරම්පරා දාහක් විතර යනකොට ගෑණු රටවල් සහ පිරිමි රටවල් කියල වර්ග දෙකක් තියෙන්නත් පුළුවන්. ස්ත්‍රී ශරීරයෙන් පුරුෂ ආකර්ෂණ අංග ක්ෂය වෙලා ගිහින් අමුතුම ජාතියක් හැදෙන්නත් පුළුවන්. සමලිංගික සහ ද්විලිංගික ප්‍රතිශතය 100%ක් වෙන්නත් පුළුවන්.
තව මොනාද වෙන්න පුළුවන්?

අතීතය nightmareක්

ඉස්සර ශිෂ්‍යත්ව පන්ති ගිය කාලෙ, ඒ තරං එපා වෙච්ච දෙයක් තිබ්බෙ නෑ තවත්. අවුරුදු තුනක් සතියට දවස් තුන ගාණෙ කිලෝමීටර් 10ක් (google map එකෙන් බැලුවෙ) වෑන් එකෙයි බස් එකෙයි යන්න වුණාම අවුරුදු 9ක ළමයෙකුට කොච්චර එපා වෙනවද කියල හිතාගන්න පුළුවන්නෙ.

ඊළඟට සාපෙ. ඇත්තටම සාපයක් තමා ඒකනං. කෘෂිකර්මයට ඇරෙන්න අනිත් ඔක්කොටම පන්ති තිබ්බා හැමදාම (බුද්ධාගමට ඉරිදට දහම්පාසල් ගියානෙ ඉතිං). සාපෙදි නං පන්ති යන එකට එච්චර අකමැත්තක් තිබ්බෙ නෑ ඉතිං. එකක්, පයින් යන දුර. අනික, ගියෙ එයා එනවද බලන්නනෙ.

උසස්පෙළ ගැන නං කතා කරල වැඩක් නෑ. හිතට තිබුණ වදේ කොච්චරක්ද කියල උසස්පෙළ කරපු උං දන්නව ඇතිනෙ. කවදද ඉවර වෙන්නෙ කියල බලාගෙන හිටියෙ. ඒ වගේම තමා ඉවර වුණාම දැනුන සන්තෝසෙත්.

ඔය ඔක්කොමත් හරි, ඉස්කෝලෙ ගමනත් හරි. දවසට කිලෝමීටර් හතළිහක් බස් එකේ. ලොකු ඉස්කෝලෙ ගිය අවුරුදු අට ඇතුලත ගිය දුර ගණන් කරාම ඒක ලෝකෙ වටේ දෙපාරක් යන තරම් දුර (80,000km). එකම පාරෙනෙ හැමදාම. කවදද ඉවර වෙන්නෙ කියල බලාගෙන හිටපු එකේ වැරැද්දක් නෑ එතකොට.

ඕනම කෙනෙක්ගෙන් ඇහුවොත් කියාවි, "ඉස්කෝලෙ කාලෙ තමා ආතල්ම". හැබැයි මං නං කියන්නෙ ඒක තමා ජීවිතේ එපාම කරපු කාලෙ. උසස්පෙළ කරන එකෙක්ගෙන් අහල බලන්න "ඕලෙවල් අමාරුද ලේසිද?" කියල. ඌ අනිවා කියයි "ඕලෙවල් කියන්නෙ පට්ට ලේසි විභාගයක්" කියල. මොකද ඌට මතක නෑ ඒකාලෙ සාපෙ ලියන්න ඉද්දි කොච්චර අමාරුවට දැනුනද කියල ඒක. අපි සාපෙළ කරපු කාලෙත් උසස්පෙළ කරපු හැමෝම කියපු කතාවක් තමයි සාපෙළ කියන්නෙ ලේසි විභාගයක් කියන එක. අපිනෙ දන්නෙ අපිට තිබ්බ අමාරුව. ගණන් නං හැබැයි එදත් අවුලක් තිබ්බෙ නෑ. කවිද, ඉතිහාසෙද, චලිත සමීකරණද ඔය අනංමනං කීයක් නං තිබ්බද මතක තියාගන්න? ඒ කාලෙ මටම වෙච්ච පොරොන්දුවක් තිබ්බා, මං උසස්පෙළ කරන කාලෙක ඒක කොච්චර අමාරු වුණත් කවදාවත් සාපෙළ ලේසියි කියලනම් කියන්නෙ නෑ කියල. කියන්න සන්තෝසයි අදටත් ඒ පොරොන්දුව නං කඩලා නෑ.

ඉස්කෝලෙ යද්දි එද්දි කරපු දේවල්වත්, හවසට සෙට් වෙලා සෙල්ලම් කරපුවාවත් නෙමේ මේ කියන්නෙ, ඉස්කෝලෙයි, පන්තියි ගැන. ඉගෙන ගන්න කිසිම ආසාවක් නැතුව අවුරුදු දහතුනක් විඳපු දුක ගැන.

ආයෙත් යන්න අවස්ථාවක් ලැබුණොත්, කව්රු ගියත් මං නං යන්නෙ නෑ ඒ අතීතෙට. මං කියන්නෑ ඒ කාලෙ වැඩක් නෑ කියල. අනිවාර්යයෙන්ම ඒ අත්දැකීම් හේතුවෙන්න ඇති අද මේ ඉන්න (සාර්ථකයි කියන්න පුළුවන්) තත්වෙට එන්න. මං කියන්නෙ එපාවුණා කියල විතරයි.

උසස්පෙළෙන් පස්සෙ වැඩට ගිය කාලෙත් කාන්තාරෙ ඇවිදිනවා වගේ අරමුණක් නැති, උදේ අටේ ඉඳන් හවස හත වෙනකන් දවස් හතම වැඩ කරපු විවේකයක් නැති කාලයක් වුණාට ඒ කතරට හැමදාම වැටිච්ච වැස්සක් තිබ්බා. කවදාවත් එපා වුණේ නං නෑ ඒක. අදටත් තාමත් ආසයි ආපහු යන්න ඒ කාලෙට.

ඔය විදියට බලනකොට කව්රු කොහොම වැඩ වැඩියි කිව්වත්, ජීවිතේ මුල් අවුරුදු තුන ඇරුණම දැන් තමා ජීවිතේ නිදහස්ම කාලෙ. මොනාහරි කරල අතට ගන්න කීයකින් හරි කාලා බීලා, කාටවත් බරක් නොවී කැමති දෙයක් කරගෙන, fb පෝස්ට් දදා ජීවත් වෙන්න පුළුවන් මේ වගේ කාලයක් ආයෙත් එන එකක් නෑ. හැබැයි ඒ කොච්චර උනත් හිත ඉල්ලන්නෙ මේකෙනුත් අයින් වෙන්න. "වෙන්නෙ" නම් රස්සාවක් කරන්න, ඒත් "ඕන" ලෝකෙ වටේ ඇවිදින්න. බලමු. දවසක් ඒවි. ජීවත් වෙලා හිටියොත් මොනාමහරි වේවි.

Watching අතීතය, ඍණාත්මක දෑසින්.....

ගණිතය

මට ගණන් පුළුවන්. 9දි ලකුණු සීයම තිබ්බම, සාපෙළ ගණන් පන්තියෙ වැඩිම ලකුණු තිබ්බම මට හිතුණෙ එහෙම. උසස්පෙළ ගණිතය තෝරගත්තෙත් ඒ හේතුවට. මං ආස නිසා. මට පුළුවන් නිසා. ඒ තීරණේ නං වැරැද්දක් නෑ.

හැබැයි, ඉස්සර මං ගණිතය අර්ථ දැක්වුවෙ "සුපිරියට ගැළපෙන විදියට, මිනිසා විසින් අඳුරගත්තු රටා සමූහයක්" විදියට. අන්න ඒ තීරණේ නං දැන් වැරදියි වගේ.

ඉස්සර මං ගණන් කියල ඉගෙනගත්තෙ මොනාද, දැන් ගණිතය කියල ඉගෙනගන්නෙ මොනාද කියන එක නම් සෑහෙන්න වෙනස් වෙලා. ඉස්සර මං කරේ අර කියපු රටා දැකපු එක. රටාව අධ්‍යයනය කළාම ඊළඟට එන්නෙ මොකක්ද කියන එක එච්චර දෙයක් නෙමේ. ඊළඟට එන එක වගේම අතරමැද නැත්තෙ මොනවද කියන එකත් හොයන්න පුළුවන් හොඳට තේරුම් ගත්තම. ඔය අතරෙ තව ගණනය කිරීමුත් (ඉලක්කම් සුළු කිරීම්) තිබ්බා. මට පුළුවන් වුණේ ඔන්න ඔය දේවල්.

ඉස්සර කැල් (Calculator) එකක් ළඟ තියාගන්නත් තහනම්. දැන් තත්වෙ වෙනස් වෙලා. විභාගෙදි කැල් එක අත්‍යවශ්‍ය වෙලා. ගණනය කිරීම් ගණිතය නොවන තත්වෙට පත්වෙලා. දැන් දැනෙන්නෙ, ගණිතය කියන්නෙ "එකිනෙකට සුපිරියට ගැළපෙන විදියට මිනිසා විසින් අර්ථ දක්වපු අර්ථ දැක්වීම් සමූහයකට" විදියට. ඒකෙ තියෙන්නෙ අර්ථ දැක්වීම් හරියටම තේරුම් අරගෙන හරිතැනට යොදන්න. අන්න ඒකනං මට එච්චර පුළුවන් දෙයක් නෙමේ. හැම පොඩි දේකටම අළුත් අළුත් අර්ථ දැක්වීම්. ඒ අර්ථ දැක්වීම් මත ගොඩ නැගුණු තවත් අළුත් අර්ථ දැක්වීම්. "රටා" වලින් ඉහළට ආපු මට "අර්ථ දැක්වීම්" ගැළපෙන්නෙ නෑ වගේ.

බොහෝවිට මං වැරදි ඇති. "ගණිතය" කියන අර්ථ දැක්වීම් සමූහයට අර්‍ථ දැක්වීමක් දෙන්න තරං මං දැනමුත්තෙක් නෙමේනෙ. ඔය කිව්වෙ මට හිතෙන දේ සරලව. වැරදිනං, පෙන්නල දුන්නට මං මොකුත් කියන්නෑ...

සමහරවිට ඉස්සරහට ගණිතය මට දැනෙන විදිය වෙනස් වේවි. අද රටා දකින අය ඒ වෙනකොට අර්ථ දැක්වීම් ඉගෙන ගනිමින් ඉඳීවි. හැමෝම ජීවිතේ ගොඩක් ඉස්සරහට ගිහින් තියේවි. එදාටත් මං මේ වගේ තවත් මොනා හරි ලියාවි.

කුලී වැඩ

ඉස්සර ගොඩක් දවස්වලට ඉස්කෝලෙ ඇරිලා ඇවිත් පන්සල පැත්තට යන්නෙ දානශාලාවෙ තියෙන දෙයක් මොනාහරි කාල බීලා, පන්සලේ මොනාහරි වැඩකට උදව් කරලා රෑ වෙලා ගෙදර යන්න.

දවසක් මමයි තව එකෙකුයි ඉන්න වෙලාවක පන්සලට අල්ලපු වැටේ ඉන්න ඇන්ටි කතා කළා.
"වෙලේ කාණුවක් කපා ගන්න ඕන. මට මේ දවස් වල මඩේ යන්න බැහැ, කකුලෙ තුවාලයක්. මොකද කියන්නෙ?"
"කපල දෙන්නං. හැබැයි නිකං නං බෑ, කීයක්හරි ඕන".
"සීයක් දෙන්නං".
"එක්කෙනෙක්ට සීය ගාණෙ දෙසීයක් ඕන".
"වැඩේ හරියට කරොත් දෙන්නම්".

අපි වැඩේ කරා. දෙසීයක් වටින්නෙ නැතිවුණත් දෙසීයකුත් ලැබුණා.
මං මටම කියල හම්බකරගත්ත පළවෙනි ආදායම වෙච්චි ඒ සීය කාලයක් යනකං පර්ස් එකේ වෙනම සාක්කුවක ඉතුරු වෙලා තිබ්බා. ඒක වියදම් කළේ මොකටද කියල මතක නෑ. හැබැයි දැන් අවුරුදු පහ හයක් ගිහිල්ලත්, පොඩිවෙලා දුඹුරුපාට වෙලා තිබ්බ ඒ සීයෙ කොළේ හිතේ නං එහෙම්මම ඉතුරුයි.

අම්මා කියපු සිංදු

ඉස්සර නිදා ගන්න කලින් අම්මා සිංදුවක් කිව්වෙ නැත්තං නින්ද යන්නෙ නෑ. නිදිමතක් අහලකවත් නැතුව ඇඳට ගිය ඒ කාලෙ සිංදුවක් අහගෙන ඉද්දි නින්ද ආවෙ ඉබේටම.

අන්න බලන් ඉදිකඩ ළඟ...

දණාගාද්දි ඇවිදින්නට...

හිනැහේවී බෝනික්කා...

පුතුනේ, මේ අහගන්න පුතුනේ...

තවත් ඒවා ගොඩක් තිබ්බා. ඔය සිංදුවල තිබ්බෙ දුක, නැත්තං බලාපොරොත්තු. නැත්තං මට දැණුනෙ එහෙම. තාලයට වැඩිය තේරුම තමා ඉස්සරත් දැක්කෙ. වැදුණා හිත ඇතුලටම. වෙන එකක් කියන්න කියල කියන්න තරම් තේරුමක් නොතිබ්බට හැමදාම අහන් හිටියෙ දුකෙන්! සමහරවිට මං වැරදි ඇති. දැන් සමහර වෙලාවට නං තේරුම ගැන හිතද්දි හිතෙන්නෙ ඇයි දෙයියනේ මට දුක හිතෙන්නෙ කියල. සමහරවිට "දුවව ඉස්කෝලෙ යවලා ඉගෙන ගනියි කියල බලාපොරොත්තු වෙන අම්මගෙ බලාපොරොත්තු, වෙන රටක ඉඳන් මෙහෙ ඇවිත් තනිවෙච්ච බෝනික්කගෙ හැඟීම්" ඔය දුකට හේතු වෙන්න ඇති. මට හිතුනෙම ඒව දුකක් විදියට. අදටත් මං ආස නෑ ශෝකාන්ත වලට.

එදා විඳපු රස සමහරවිට අද මෙතනට එන්න හේතුවෙන්නත් ඇති. සමහර විට අද මෙහෙම ලියන්නෙත් ඒ නිසා වෙන්න ඇති. සමහර විට ඒ සිංදු නොඇහුණා නම් මං මීට වඩා හොඳ හෝ නරක, වෙනස්ම කෙනෙක් වෙන්නත් පුළුවනි.

මොනා වුණත් ඒක අතීතය. කැමති වුණත් අකමැති වුණත් තියන් ඉන්න සිද්ධවෙන, වෙනස් කරන්න බැරි මතකය.

පාන්දර දෙක තුන වෙලත් නින්ද යන්නැති දැන් ඉන්න එකාට, ඉස්සර රෑට කාල බුදියගත්තු එකාව මතක් වෙද්දි හීල්ලෙන්නෙ ඉබේටම. ඒ දුක නැති වෙන්නෙ මේ වගේ පෝස්ට් එකකට වැටෙන ලයික්, කමෙන්ට් දැක්කම.


අනාගතේ වෙනස් කරන්න පුළුවන් (ඇති). සිංදුවකින් මනසට කරන බලපෑම ගැන තව ටිකක් හොයල බලල, හොඳ සිංදු ටිකක් හොයල තියාගන්න ඕන දැම්මම.

එයා තාමත් ඒලෙවල්

-සංසාරගත ප්‍රේමය සොයා යන අදිටනින් දිවි කතර සරු කරන්නෙකුගේ ආදරණීය වීර කාව්‍යය-

පහළොවෙදි දහඅටට
දාහතෙදි විසි එකට
කල් දැම්මෙ කසාදෙට
විසි දෙකක් වෙයි දැනට

ජාතිය වයස ආගම සහ නොයෙක් දෑ
කෙනෙක් ඉඳී ගැළපෙන ඒ සියලු දෑ
හමුවන තුරු බලමින් සිටි කල් මදෑ
එදිනට නුඹ කරනව මගෙ බිරින්දෑ

මල් මදහාස දෙන සීතල මල් වැස්සේ
ගෙපැලක් හදන් ඉමු ලා නිල් තණ බිස්සේ
මෙච්චර හීන හිරකරගෙන හිත අස්සේ
කොට්ටක් පැන්නෙ නෑ තාමත් ගල්කිස්සේ

ආ දා ඇස් කෙලින් ඇස මත රුව ඇන්දේ
ඇසිපිය හෙළන වර ඇගෙ රුව සුව වින්දේ
හිමිවිය නොහැක හිමිවනු ඇත මත දුන්දේ
පෝ දා හද හඬයි හඳ දැක පද බැන්දේ

තිබුණට ගොඩක් මල්
කළා මං හිත ගල්
හිටියේ ගොඩක් කල්
එයා දැං ඒලෙවල්