Saturday, February 29, 2020

විකල්ප

අපි වයසට ගිහින්. නැවතිලා හිතල බැලුවම මුලින්ම හිතට ආවෙ ඒක. අන්තිමට මේ වගේ නැවතිලා හිතලා දැන් අවුරුදු දෙකක් ගිහින්. අද ඊයෙ වගේ නං නෙවෙයි. අවුරුදු ගාණක් දැනීගෙන ගියෙ. ඒත් නැවතිලා ලියන්න හිත එකඟ කරගන්නයි අමාරු. තාක්ෂණය ජීවිතය කොච්චර ලේසි කරලද කියල කිව්වොත්, ලියන්න නවතින්නවත් වෙලාවක් නෑ. තේරීම් වැඩි වෙලා. ලියන්න, තැන නැතිවෙලා.

සමහරවිට ඉස්සර, ලියන්න හිතෙන්න හේතුවක් තියෙන්න ඇති. ඉටු කරගන්න බැරි ආසාවල් පිරුණු හිතේ හිඩැස් වහන්න ලියන එක උදව් වෙන්න ඇති. නිදහසේ කියාගන්න බැරි වෙච්ච දේවල් හිරකරලා තියාගන්න එළිවැට ඕන වෙන්න ඇති. එහෙනම්, දැන් හිත පිරිලා වෙන්නත් ඇති.

එදා ඉඳලා අද වෙනකං, කරපු දේවල් පුදුම ගොඩක්. වයස වැඩි වෙලා. අත්දැකීම් වැඩි වෙලා. දැනුම වැඩි වෙලා. වගකීම්, බලාපොරොත්තු, වත්කම්, ආසාවල්, මේ හැමදේම වැඩි වෙලා. හැබැයි ප්‍රශ්න නං තාමත් වෙනස් වෙලා නෑ.

අපි හැමෝටම තියෙනවා අරමුණු. අපිම හදාගත්ත, අපිම බදාගත්ත තනි තනි අරමුණු. ඒත් මිනිස්සු විදිහට අපි හැමෝගෙම පොදු අරමුණ, තවත් මිනිස්සු හදන එක විතරක් නෙවේද? ඒකත් තේරුමක් නැති ඉබේ හැදුණ අරමුණක්ද? එතකොට මේ හැමදේම අහම්බයක්ද? "මම", අගක් මුලක් නැති අහම්බයන් අනන්ත ගාණක අතුරු ප්‍රතිඵලයක් විතරමද? එහෙම නැත්තං මෙතෙක් වෙච්ච හැමදෙයක්ම සිද්ධ වුණේ මේ මොහොත වෙනුවෙන්මද?

Tuesday, January 16, 2018

අනන්ත අන්ත

දැනට අපි දන්න කුඩාම අංශු, පරමාණු. ඒ ඇතුලෙ මොනවා ඇත්ද? වෙලාවකට හිතෙනවා මෙහෙම. ඔය පරමාණුවක් ඇතුලෙ තවත් විශ්වයක් තියෙන්න බැරිද? එහෙම නැත්තං, අපි ඉන්නෙ පරමාණුවක් ඇතුලෙ වෙන්න බැරිද?

ඉස්සර කියවපු විද්‍යා ප්‍රබන්ධ කතා පොතක තිබ්බා, ඈත මන්දාකිණිවල ජීවය, ශක්තිය ගවේෂණය කරන්න හිතාගෙන පෘථිවියෙන් පිට වෙලා යන රොකට් එකක් එකපාරටම වීදුරුවක හැප්පිලා, අපේ සෞරග්‍රහ මණ්ඩලය වෙන බුද්ධිමත් ජීවී විශේෂයක් පරීක්ෂණ නලයක කරන පරීක්ෂණයක් කියලා දැනගන්න ලැබෙන කතාවක්. ඇත්තටම එහෙම වුණොත් මොනා වෙයිද?

අපි විශ්වය විදියට දකින්නෙ විශාල ජීවී විශේෂයක ළමයෙක් මිදුලෙ සෙල්ලම් කරන බෝලයක ඇතුල් පැත්ත වෙන්න බැරිද? එහෙම නැත්තං පෘථිවිය කියන්නෙ විශාල ජීවියෙක්ගෙ සෛලයක් වෙන්න බැරිද?
කඩේක රාක්කයක් උඩ තියෙන සබන් කෑල්ලක් උඩ, සතියක් දෙකක් වගේ කාලයක් ඇතුලත අළුත් ලෝක බිහිවෙලා, ජීවය ආරම්භ වෙලා ජනාවාස බිහිවෙලා විනාශවෙලා යන්න බැරිද? අපිට නොපෙනෙන තරම් පොඩි විශ්වයන් තියෙන්න බැරිද?

Films වල තියෙන විදියට සමාන්තර ලෝක පවතින්න බැරිද?.

අපි දැනට දන්න විශ්වය, පවතින එකම එක වුණත් ඒක ඇතුලෙම අපි නොහිතන කොච්චර දේවල් ඇතිද. ප්‍රාථමික ජීවීන් ඉන්න ග්‍රහලෝක, ශිෂ්ඨාචාර ඇතිවුණ ග්‍රහලෝක, තාක්ෂණිකව දියුණු ග්‍රහලෝක, මිනිස්සුන්ට සර්වසම ජීවීන් ඉන්න ග්‍රහලෝක වගේම පෘථිවියට සර්වසම ලෝකත් තියෙන්න බැරි නෑ.

විශ්වයේ ආරම්භය ගැන දැනට පිළිගන්න මත දිහා බැලුවම ඊටත් වඩා තේරුම් ගන්න අමාරුයි. මහා පිපිරුම් වාදයේ කියන විදියට කාලයේ හා අවකාශයේ ආරම්භයට කලින් මුළු විශ්වයම අපි දන්න කුඩාම අංශුවලටත් වඩා පොඩියටලු තිබ්බෙ. කාලය කියල දෙයක්වත් තිබුණෙ නෑ ලු. ඊළඟට තත්පරයකටත් වඩා අඩු කාලයකදි ඔය අංශුව පිපිරිලා අපි මේ දන්න හැමදේකම ආරම්භය ඇතිවුණා ලු. ඒ පිපිරුමෙන් විසිවෙන කෑලි වලලු තාම අපි මේ ඉන්නෙ.

ඔහොම හිතල බලද්දි කාලය හා අවකාශය අතර අපි අතරමං වෙලා වගේම ඔය හැම ප්‍රශ්නයක් අතරෙම හිතට වදදෙන තවත් ලොකු ප්‍රශ්නයක් ඉතුරුවෙලා. මේ වගේ අනන්ත වියහැකියාවන් අතරෙ "මං" තවත් එක අහඹුවක් විතරමද?

Tuesday, December 19, 2017

පරාර්ථකාමීන්

දහසකුත් එකක් වූ පැතුම් පොදි පිරිවරා එගොඩ යන අරමුණෙන් කතරකට පිවිසුණා...
වියරු වැලි තලා මත දිය සොයා ඇවිද යන අතරමං වූ රැළක් මග සොයා වෙහෙසුණා...
වියළි බිම් කඩ තෙමන සිසිල් දිය බිඳු වැලක් නිසරු බිම සරු කරන් වා තලේ විසිරුණා...
මග නොදැන සිටි පිරිස දිය පොදට පින් දිදී මග සොයා ගෙන ගොසින් රැළ පිටින් පිටවුණා...

වියැකෙන මතක

ප්‍රශ්නයක් තියෙනවා මෙහෙම. ඉස්සර මොන්ටිසෝරියෙ හිටපු අයගෙන් දැන් මතක දෙතුන් දෙනයි. පස්සෙ එක වසරෙ ඉඳන් පහේ ශිෂ්‍යත්වෙ ලියනකං ඒ ඉස්කෝලෙ හිටපු අය නං හැමෝම වගේ හොඳට මතකයි. හයේ ඉඳන් උසස්පෙළ වෙනකං පන්ති කඩපු නිසා කිසිම කෙනෙක්ව එක දිගට ආශ්‍රය කරන්නෙ ලැබුණෙ නැති නිසා නම් වශයෙන් මතක නැතත් මූණු හරි මතකයි හැමෝගෙම. ප්‍රශ්නෙ මේකයි. අවුරුදු විසි එකේ ඉඳන් විසි හතර වෙනකං ආශ්‍රය කරපු සෙට් එක මට මතක හිටීද? දන්නෙ නෑ. බලමු...
අපිට නිගමන වලට එන්න පරීක්ෂණ කරන්න ඕන. හැබැයි ජීවිතේ විවිධ අවධි ගැන කරන පරීක්ෂණ කරන්න පුළුවන් එකපාරයි. සමාජජාල නොතිබ්බ ඒ කාලෙ උදේ වරුවෙ විතරක් හම්බවෙලත් මෙහෙම මතක නං, දවසම එකට ඉඳලා රෑටත් online හිටපු අයව කවදාහරි අමතක වෙයි ද? මං දන්නෙ නෑ.

එකට සිටි මංසලෙන්...
වෙන්වෙලා සමු අරන්...
විසිරිලා උන් ගිහින්...
ඒ මතක සිත දරන්...

කාලය ගෙවී ගිහින්...
ජීවිත වෙනස් කරන්...
බොඳවී මතක පොතෙන්...
මුල් පිටු මැකී ගිහින්...

වියැකේවි ඒ මතක...
ගොඩනැගූ පෙර දිනක...
හමුවේද යළි දිනක...
දැවෙන තුරු මේ චිතක...

හමුවේවි අප දිනෙක...
ඈතින් යන විටෙක...
සිහි වේද සිව් වසක...
එකට සිටි ඒ මතක...

දවසක් යළිත් ඒවි...
අපි ආයෙ හමුවේවි...
පෙර මතක මතුවේවි...
සිනා සී වෙන්වේවි...

Tuesday, June 13, 2017

කෘතිම රෝද

මිනිස්සු ගුවන් යානා හැදුවෙ කුරුල්ලො දිහා බලාගෙනලු. සබ්මැරීන් හැදුවෙ මාළු දිහා බලාගෙනලු. ඇත්ත තමයි. මිනිස්සු ඒ දේවල් වලට ආස කළේ සත්තු දිහා බලල තමයි. හැබැයි සොබාදහමයි මිනිස්සුයි ඒ වෙනුවෙන් පාවිච්චි කරන්නෙ වෙනස් තාක්ෂණයන්. මිනිස්සුන්ට බැහැ සොබාදහම හොයාගත්ත දේවල් පාවිච්චි කරන්නවත්. සරල උදාහරණ කීපයක් ගත්තොත්....
සොබාදහම සත්තුන්ට කකුල් දුන්නට මිනිස්සු වාහන වලට පාවිච්චි කරන්නෙ රෝද. වෙන වෙනම සලකල බැලුවම රෝද වලට වඩා කකුල් වලට කරන්න පුළුවන් දේවල් ගොඩයි.
සොබාදහම කුරුල්ලන්ටයි මාළුන්ටයි උස්-පාත් කරන තටු දුන්නට මිනිස්සු ගුවන්යානා සහ සබ්මැරීන් වලට පාවිච්චි කරන්නෙ කැරකෙන පෙතියි බඳේ හැඩයයි.
සර්පයෙක් ඝන සහ ද්‍රව මාධ්‍ය මත ගමන් කරන තාක්ෂණය වගේ දේවල් 100%ක්ම අනුකරණය කරන්න තවම බැරි වුණාට, සොබාදහම කරන දේවල්ම කරන්න මිනිස්සු ගත්ත උත්සාහය අපතේ ගිහින් නැහැ. ක්‍රමේ වෙනස් වුනාට කොහොමහරි කළානෙ.
ඒත් ප්‍රශ්නෙ මේකයි...
මිනිසාට සොබාදහම අනුකරණය කරන්න ප්‍රාථමික ක්‍රම තියෙනවනම් ඇයි සොබාදහම ඒ ක්‍රම පාවිච්චි නොකළේ?
ඇයි රෝද තියෙන සත්තු, පෙති තියෙන කුරුල්ලො පෘථිවියේ නැත්තේ?
රෝදය කියන සංකල්පය ස්වභාවිකව දකින්න නැත්තෙ ඇයි?
මිනිසාට සරල වුනාට රෝදය කියන්නෙ සොබාදහමට පට්ට සංකීර්ණ එකක්ද?

දැනුම පද්ධති

මුලින්ම කියන්නම්, මං මේ කතා කරන්නෙ නිරපේක්ෂ රාමුවක ඉඳන්.
පටන් ගමු මෙහෙම. අද ලංකාවෙ වෛද්‍ය ක්‍රම දෙකක් තියෙනවා "බටහිර" සහ "සිංහල පාරම්පරික" කියල.

සිංහල පාරම්පරික වෛද්‍ය ක්‍රමය හැදුනෙ කොහොමද? ජීවක කතා වස්තුවෙදි වගේ දිව්‍යලෝකයෙන් කෙනෙක් ඇවිත් ඉගැන්නුවද, නැත්තං භාවනා කරලා ස්වෝත්සාහයෙන් වෛද්‍ය දැනුම පහළ කරගත්තද? වෙන්න බැහැනෙ. අනිවාර්යයෙන්ම කාලයක් තිස්සෙ කරපු අත්හදාබැලීම් වල ප්‍රතිඵල වෙන්න ඕන. අන්න ඒක ගැන තමයි මං කියන්න හදන්නෙ.

හිතන්න කිසිම බෙහෙතක් ගැන නොදන්න කාලෙක අපි ඉන්නෙ කියල. කෙනෙක්ට හැදෙනවා ලෙඩක්. බඩේ අමාරුවක් කියල හිතමුකො. ඔන්න එක සැරේටම ලෙඩේ සනීප වෙනවා. එතකොට ඒ කෙනා හිතනවා මෙහෙම. "මං කාපු දොඩම් ගෙඩිය නිසා තමයි මේක සනීප වෙන්න ඇත්තෙ. ඊළඟ සැරේ බඩේ අමාරුවක් ආවොත් දොඩම් ගෙඩියක් කාල බලන්න ඕන". ඔන්න එතකොට බඩේ අමාරුවට දොඩම් ගෙඩිය බෙහෙතක් කියල දැනුමක් එකතු වෙනවා.
ඕකයි ක්‍රියාවලිය. ඔය ක්‍රමේ කොච්චර දෝෂ තියෙන්න පුළුවන්ද?
ඔය බඩේ අමාරුව ඇත්තටම බඩේ නොවී වෙන අවයවයක දෙයක් වෙන්න බැරිද?
බඩේ අමාරුවක් හැමදාම හැදෙන්නෙ එකම හේතුව නිසාද? එතකොට වෙන හේතුවක් නිසා හටගන්න බඩේ අමාරුවකටත් දොඩම් ගෙඩිය බෙහෙතක්ද?
ලෙඩේ හොඳ වුණේ දොඩම් ගෙඩිය කාපු නිසාද නැත්තං ලෙල්ලේ සුවඳට වෙන්න බැරිද?
එහෙම නැත්තං ඒ වෙලාවෙ කාපු වෙන දෙයක් නිසා වෙන්න බැරිද?
ඔක්කොටම වැඩිය, ලෙඩේ හොඳ වුණේ දෙහි ගෙඩියෙ හෝ වෙන දෙයක බලපෑමක් නැතුව ඉබේම වෙන්න බැරිද?

කෙනෙක් කියන්න පුළුවන් ඔය දේවල් පරම්පරා ගණනාවක් තිස්සෙ පාවිච්චි කරලා ඔප්පු වුන දේවල් කියල. ඇත්ත. හැබැයි, ඔය දේවල් වල අතුරු ප්‍රතිඵල ගැන කව්රු හරි හොයල බැලුවද? දොඩම්වලට බඩේ අමාරුවක් හොඳ කරන්න පුළුවන් කියල වගේම වකුගඩු වලට අහිතකර බලපෑම් කරන්න බැහැ කියලත් දන්නවද?

ඔය කිව්වෙ ආරම්භයේ පැවතිය හැකි දෝශ! ඊළඟට තව දෙයක් තමයි වෛද්‍ය ක්‍රමය පවත්වා ගෙන ඒමේ දෝශ.
සාමාන්‍යයෙන් ඉස්සර දැනුම ගෙනාවෙ පරම්පරාවෙන්. කුඹල්, ධීවර වගේ දේවල් ගම් වශයෙන් තිබුණට වෛද්‍යවරු හිටියෙ ගමකට එක පවුලයි. බොහෝ විට තාත්තාගෙන් එක පුතෙක්ට තමයි දැනුම ලැබුනෙ. හිතමු, තාත්තා ඇත්තටම හොඳ දැනුමක් තියෙන බුද්ධිමත් වෛද්‍යවරයෙක් කියල. ඒත් පුතාත් තාත්ත වගේම බුද්ධිමත් විය යුතු නැහැනෙ. පුතා මෝඩයෙක් වෙන්න පුළුවන්. අද බටහිර වෛද්‍ය ක්‍රමේ දොස්තරලා විදියට බිහිවෙන්නෙ මුළු රටේම අය අතරින් වෛද්‍ය දැනුම දරාගන්න පුළුවන් හැකියාව බුද්ධිය තියෙන පිරිසක්. එතකොට ඒ අයට සාපේක්ෂව කිසිම තේරීමක් නැතිව වෛද්‍යවරු බවට පත්වෙන පිරිසකට දැනුම පරම්පරාවෙන් පරම්පරාවට ගෙනියන්න පුළුවන්ද? කොච්චර වටිනා සොයාගැනීම් විනාශ වෙන්න ඇද්ද? කොච්චර වැරදි දේවල් එකතු වෙන්න ඇද්ද?

ඔන්න ඔය හේතු නිසයි මං සිංහල වෛද්‍ය ක්‍රමයට වැඩිය බටහිර වෛද්‍ය ක්‍රමය අනුමත කරන්නෙ. හැබැයි ඔය දෙකටම වැඩිය මං විශ්වාස කරන හොඳම වෛද්‍ය ක්‍රමය තමයි "ස්වභාවික ප්‍රතිශක්තිය".

විවිධත්වය

ඔන්න එතකොට මං තුන වසරේ. දවසක් ඉස්කෝලෙදි හිතුන මෙහෙම දෙයක්! තුනෙන් දෙකක් අඩු කළාම එකයි නම් දෙකෙන් තුනක් අඩු කළාම කීයද? මොනා කරන්නද, ටීචගෙන් ඇහුවා සීන් එක. එතකොට ටීචර් කිව්වෙ වැඩි ඉලක්කමෙන් අඩු එක අඩු කරලා උත්තරේ ඉස්සරහින් ඍන ලකුණක් දැම්මම හරි කියලා. ඒ කියන්නෙ උත්තරේ ඍන එකයි. එදා ඉඳන් අට වසරෙදි ධන ඍන සංඛ්‍යා ගැන ඉගෙන ගන්නකම් මං දැනන් හිටියා ඕනම ඉලක්කම් දෙකක් අඩු කරන්න. ඒත් මේ ලබන අවුරුද්දෙ ඕලෙවල් ලියන්න ඉන්න එවුන් ඉලක්කම් දෙකක් අඩු කරගන්න කරන විකාර දැක්කම........ අනේ මංදා මොනා හිතන්නද කියල.

ස්වයං වින්දනය

දවසම...
යොමා නෙත ඇය වෙත....
හවසම.....
මෙමා සිත ඒ කය මත.....

අපි අපිමද?

අපේ මිනිස්සු හැමවෙලේම කියන දෙයක් තමා "අපිට අපේම සංස්කෘතියක් තියෙනවා, අපිට අපේම අනන්‍යතාවයක් තියෙනවා" කියන එක. හැබැයි ඇත්තටම අපි ඒකීය අනන්‍යතාවක් තියෙන රටක් නෙමේ. මොකද අපි අද කරන හැමදෙයක්ම ඊට කලින් වෙනත් ජාතියකින් කරපු නිසා. සරලව කිව්වොත් අපි හැමදාම කලේ වෙන අයව අනුකරණය කරපු එක නිසා. අපි කන දේවල් හැමදෙයක්ම වෙන වෙන සංස්කෘති වලින් ගත්ත දේවල්. කැවුම්, කොකිස් දකුණු ඉංදියාවෙන්, කිරිබත් පවා සියම් දේශයෙන්. අපි හදපු වැව් දාගැබ් වල තාක්ෂණය පිටරටින් ලැබුණෙ. මොකද බොහෝවිට ඒවල ප්‍රධාන ඉන්ජිනේරුවා පිටින් ගෙන්නපු කෙනෙක්. එහෙම නැත්තං පිටින් ආපු කෙනෙක්ගෙ ගෝලයෙක්! අපේ කලාව අපේ නෙමේ.  අපේ බුද්ධ ප්‍රතිමා වල තියෙන්නෙ ඉන්දියාවෙ එක එක ප්‍රාන්ත වල සම්ප්‍රදායයන්. මේවා මං නෙමේ කියන්නෙ, අපිට "කලාව හා සම්ප්‍රදාය" උගන්නන මැඩම් තමා කියන්නෙ. මට විතරද දන්නෑ මෙහෙම හිතෙන්නෙ, "ලංකාව කියන්නෙ තවත් එක රටක් විතරයි".

පිළිවෙල සහ ලස්සන

ගොඩ කාලෙක ඉඳන් හිතන් හිටියෙ පිළිවෙල ගැන ලියන්න ඕන කියලා. දන්නවද, පිළිවෙල සහ ලස්සන අතර වෙනස? හිතන්න මෙහෙම. බෝඩිමේ වෙනම මේසයක් උඩ තේ හදන්න ඕන කරන දේවල්, පිඟන්, කෝප්ප ලස්සනට තියලා තියෙනවා. ඒක දකිනකොට ලස්සනයි. හැබැයි සීනි බෝතලේ ඇරපුවාම ඒකෙ කූඹි පිරිලානම්, තේකොළ බෝතලේ තේකොළ නැත්තං එතන පිළිවෙලක් තියෙනවද? නෑ. ලස්සන කියන්නෙ පිළිවෙල නෙමේ. පිළිවෙල කියන එකට මගෙ අර්ථදැක්වීම තමයි, "ඕනම දෙයක් තියෙන තැන නිවැරදිව දැන සිටීම සහ නිතර පාවිච්චි කරන දේවල් ක්ෂණිකව ගැනීමේ හැකියාව". තේ හදන්න ගන්න දේවල් පොත් මේසෙ පොත් උඩින් තිබුණත් කාමරේ අයිතිකාරයට තියෙන තැන මතකනම් ඒක තමා නියම පිළිවෙල.  කාමරේ අස් කරනවයි කියල ගොඩක් අය කරන දෙයක් තමා මේසෙ උඩ තියෙන දේවල් ඔක්කොම ටික ලාච්චුවකට දාල මේසෙ ලස්සනට තියන එක.  මං අකමැතිම දෙයක් තමා ඒක. හැමදේම මේසෙ උඩ තියන එකෙන් ලස්සන මිසක් පිළිවෙල නැතිවෙන්නෙ නෑ.

තව දෙයක් තමා "අපිළිවෙල තමා හොඳම පිළිවෙල" කියන එක. එන්ට්‍රොපිය ගත්තමත් අපිළිවෙල වැඩිවෙන තරමට ස්ථායී බව වැඩියිනෙ. සරල උදාහරණ ටිකක් කියන්නම්. උදේට නැගිට්ටම නෙට් එක අකුලන එක මං දකින විදියට මෝඩ වැඩක්! ආයිත් රෑට ඕක දානවනම් මොකටද අකුලන්නෙ, ලස්සනටද? චාජර් එකෙන් කරන්නෙ චාජ් කරන එක විතරයි නම් ඇයි ඒක ප්ලග් එක ළඟ නොතියා ලාච්චුවට දාන්නෙ? කකුල පැටලෙනවටද? කාමරේ කැත වුනාට ඒක එහෙමම තියන එකෙන් කොච්චර ශක්තියක් ඉතුරු කරගන්න පුළුවන්ද? තමන්ට ගඳ නැත්තං හැමදාම එකම ඇඳුම ඇන්දට මොකද?
දැන් සමහරු තර්ක කරාවි "හෝදන" එක ගැන. ඒක තමන්ගෙ වැඩක්! :D

කාලෙන් කාලෙට

හැමදාම දහම්පාසල් ගියෙ හේතුවක් හින්දා. හැමදාම පන්ති ගියෙ හේතුවක් හින්දා. හැමදාම ඉස්කෝලෙ ගියෙ හේතුවක් හින්දා. හැමදාම වැඩට ගියෙ හේතුවක් හින්දා. දැනුත් හැමදාම හැම මගුලටම  යන්නෙත් හේතුවක් හින්දා.

පුදුම හිතෙන්නෙ හේතු පහ, පහක් හින්දා.....

සංකීර්ණ සහ සරල

ලොකු සීන්

බිඟු........වන්ද...වද.......බැන්ද...
දිග.....කොන්ඩෙ........ආනන්ද...
කුල........අංඟ..මන.......බැන්ද...
මධු.........රංග...වෙන.....මන්ද...

තනිවේවි එක්ටැම් ගේ

ආදරේ දෙන්න මට...
ඉල්ලනවා හිතට...
අහාවිද නිකමට...
කැමතිද ඔයා මට...

කළුද අපි සුදු නැද්ද...
ඇයි අපේ ලොකු මදිද...
හිත අහයි කර සද්ද...
නෙතු යෙමෙනවා රෙද්ද...

උසස්පෙළ නාමයට...
වෙන්වුනා පොතපතට...
ඒකාලෙ ආ එකට...
බෑ කිව්වෙ කරුමෙකට...

ඉඳින්නම් තව වරක්...
ඉවසලා ටික කලක්...
නැතුවට කුමාරයෙක්...
කම් නැත සුනඛයෙක්...

සංගීතය

මට විතරද දන්නෙ නෑ මෙහෙම හිතෙන්නෙ.

සංගීතය කියන්නෙ මගෙ හැකියාවෙන් බාහිර විශයක්. තාලය, ශ්‍රැතිය මට තේරෙන්නෙ නෑ. සිංදු කියන්න බෑ.
ට්‍රිප් එකක් ගියාම හැමෝම සිංදු කිය කිය නටද්දි මට දැනෙන්නෙ දුකක්. සංගීතය දන්න මිනිස්සු තාලෙ ගැන විතරක් හිතල හිනා වෙවී කිව්වට, තාලෙ නොදන්න, තේරුම විතරක් හිතන මට, කල්පනා වෙන්නෙම මේ සිංදුව ලියද්දි රචකයා මොන වගේ හැඟීමක ඉන්න ඇතිද කියන එක.

කට්ටිය සිංදු කියනකොට, මං අහගෙන බලාගෙන ඉද්දි හැමෝම අහන්නෙ "මොනවද කල්පනා කරන්නෙ? වරෙන් සිංදුවක් කියන්න". දෙයියනේ එක සිංදුවක කොච්චර දේවල් තියෙනවද කල්පනා කරන්න. සිංදු සියගාණක් කලවමේ කියද්දි හිත යන දුර (ඇත්තටම වර්ගඵලය) හිතාගන්නවත් පුළුවන්ද?

අනිත් එක, ප්‍රශ්න වලින් පිරිච්ච මිනිස්සු කිසිම ප්‍රශ්නයක් නෑ වගේ ඉද්දිත් මට නිකං අවුල් වගේ. ඇත්තටම ඉරිසියයි. කොහොමද එහෙම ඉන්නෙ?
සමහරවිට, බඩගින්නෙ ඉඳල නැති ඉන්න බැරි මිනිස්සුන්ට, එළවලු විතරක් එක්ක බත් කන්න බැරි මිනිස්සුන්ට, පයින් යන්න බැරි අව්වෙ ඉන්න බැරි මිනිස්සුන්ට, අනිත් හැමදේම තියෙනකොට ප්‍රශ්න නැතුව ඇති.

තව දෙයක්.....
මං ආස නෑ සංගීත ප්‍රසංග, පැදුරු සාජ්ජ වලට යන්න. එතනදි නං සිංදුව ගැන හිතෙන එකේ අවුලක් නෑ. අවුල තියෙන්නෙ "මට සංගීතෙ බෑනෙ" කියල හිතෙන එකේ. දවස් ගාණක් යනකං ඒ වේදනාව නැතිවෙන්නෙ නෑ.

ආයිත් සැරයක් කියන්න තියෙන්නෙ, මට විතරද දන්නෙ නෑ මෙහෙම හිතෙන්නෙ. තව උං ඉන්නවනං යන්තං කමෙන්ට් එකක් දාල යන්න.

-ස්තූතියි-

රැල්ල

බටහිර සංස්කෘතිය

ආසයි වැළඳගන්න
එතකොට
හැමෝටම පුළුවන්
හැමෝමත් එක්ක "ඉන්න"

ඒත්
කීයෙන් කීයකට
පුළුවන් වේවිද
එදාටම "කඩන්න"...

නර්ථනය

-නර්ථනය-
පරිණාමය දිහා බලනකොට නැටුමේ ඉතිහාසය සංගීතයටත් වඩා එහාට යනවලු. කොටින්ම වචන පාවිච්චි කරන්නත් කලින්, මානවයා අදහස් හුවමාරුවට පාවිච්චි කරපු අංග චලන තමා පස්සෙ කාලෙක සංගීතයත් එක්ක එකතුවෙලා නැටුම් විදිහට හැඳින්වෙන්න පටන් ගත්තයි කියන්නෙ. එහෙනම් එතකොට මිනිස්සු නැටුවෙ අදහස් ප්‍රකාශ කරන්න. දුකක්, සතුටක් ආවම බිම පෙරළි පෙරළි හයියෙන් අඬන්න, හිනාවෙන්න ඇති. ඕකනෙ ඔය කියන්නෙ. ඒත් ප්‍රශ්නෙ තමා, ඔය විදිහට පටන් ගත්ත නැටුමට අද මොකද වෙලා තියෙන්නෙ කියන එක. මිනිස්සු අවුරුදු ලක්ෂ ගාණක් පුරුදු කරපු ඒ භාෂාව පහුගිය අවුරුදු දෙතුන්සීය ඇතුලත වෙනස් වෙලා, විනාස වෙලා.

අද හැමෝම නටන්නෙ වගකීමක් ඉටුකරන්න. කෙනෙක් තව කෙනෙක්ට දෙනවා වගකීමක්, ඔයා මේ සිංදුවට, මෙච්චර වෙලාවක්, මෙන්න මේ කට්ටිය ඉස්සරහ නටන්න ඕන. එහෙම නැත්තං, අහවල් දවසෙ අහවල් තැන තරඟයක් තියෙනව, ඔයා ඒකෙදි නටල දිනන්න ඕන. ඊට පස්සෙ වගකීම බාරගත්ත කෙනා කරන්නෙ පණ දාගෙන එකම දේ කරන්න පුරුදුවෙන එක.

හිපොප් වගේ බටහිර ක්‍රම වල මට හිතෙන විදියට පොඩි නිදහසක් තියෙනව අදහස් ප්‍රකාශනයට. හැබැයි ඒවත් එකම රාමුවකට කොටුවෙලා. අනික, බලන් ඉන්න කෙනාගෙ වින්දනයට වැඩිය ශිල්පියා කල්පනා කරන්නෙ, තමන්ට පුළුවන් කියල පෙන්නන්නෙ කොහොමද කියන එක.

ලංකාවෙ උඩරට, පහතරට නැටුම් ගත්තොත්, ඒවයෙ සංස්කෘතික වටිනාකමක් තියෙනවා තමයි. ඒ නැටුම් වලින් ලංකාවෙ අතීත ආර්ථික, සමාජීය ලක්ෂණ හෙළිවෙනවා තමයි. හැබැයි මිනිසා නැටුම ආරම්භ කරපු හේතුවට සාධාරණයක් ඔය නැටුම් ක්‍රම වලින් ඉෂ්ඨ වෙනවද? මං නං හිතන්නෙ, "නෑ". මං වැරදි නං වැරැද්ද පෙන්නන්න. නටන කෙනාට ව්‍යායාමයකුයි, බලන කෙනාට ශෘංගාර රසයයි මිසක් ඊට වඩා දෙයක් ඔය නැටුම් වල මං දකින්නෙ නෑ.

නැටුම් හොඳ නෑ කියල නෙමේ මේ කියන්න හදන්නෙ. මට නිකං හිතෙන දේ ලිව්වා විතරයි.

සංස්කෘතික බාධා

වීදි කෙල්ලකට ආදරය කළෙමි....

අපි එක රටේ වුණාට, ඉන්නෙ ලෝක දෙකක.....
ජාතිය ආගම එක වුණාට, අපි සංස්කෘතීන් දෙකක......

නොසළකාහරින්න තිබුණු බාධා සිය ගාණක් අතරෙ, "මට්ටම"ත් තියෙන එක තමා ලොකුම අවාසනාව.

අවුරුද්දක් බලාගෙන හිටියා. තවත් අවුරුද්දක් නොබල හිටියා. ජීවිතේට ගොඩක් දෙනෙක් ඇවිත් ගියා. හැබැයි තාමත් ඒ ආසාව එහෙම්මමයි.

අනේ මංදා, හිතේ තියෙන දුක කියන්න මේ සීමා දාපු වචන වලට බෑ....

මොනා වුණත් අර පොරොන්දුව එහෙම්මමයි. දවසක එන්නම් ඔයාවයි අම්මවයි බලන්න. එදාට ඔයා වගේම ලස්සන දුවෙක් හදල තියන්න, තුන් දෙනාවම එකට තියල ඔය ලස්සන එන්නෙ ජාන වලින්ද බලන්න.

පියවර

මිනිහෙක්ට ඉලක්කම් තුනක් එකසැරේ එකතු කරන්න පුළුවන්ද? මට නං බෑ. සමාන ඉලක්කම් තුනක් නම් වැඩිකිරීමෙන් කරන්න පුළුවන්. හැබැයි වෙනස් නං බෑ. හේතුව හාඩ්වෙයා වලද සොෆ්ට්වෙයා වලද කියලයි මං කල්පනා කළේ. මං හිතන්නෙ නං සොෆ්ට්වෙයා වල තමා අවුල. ඇත්තටම මිනිහෙක්ට පුළුවන්ද ඉලක්කම් දෙකක් එකතු කරන්න? ඒත් බෑ. අපි කරන්නෙ අපේ මතකයේ තියෙන උත්තරේ එළියට ගන්න එක. තනි ඉලක්කම් දෙකක් එකතු කරන්න තියෙන අවස්ථා ගාණ 55යි මං හිතන්නෙ. සාමාන්‍ය මනුස්සයෙක්ට ඔය ටිකත් එක්ක තවත් දහස් ගාණක් මතකයි. එතකොට ඉතින් නොදන්න ඉලක්කම් දෙකක් එකතු කරන්න තව සරල නීති කීපයක් විතරයි ඕන වෙන්නෙ. එතකොට ඉලක්කම් තුනක් එකතු කරන්න බැරි ඇයි? මං හිතන්නෙ ඉලක්කම් තුනක එකතුව මිනිස්සු මතක තියාගෙන නෑ.

සෙනෙහස සොයා

එක් දරු මවකි ඈ ඉපදුණු ගාලුපුරේ...
පැන ගිය හිමි නිසා තනිවිය කොළොම්පුරේ...
විස්සට තව එකයි වයසත් ගිය වසරේ...
අයි‍යේ කියා නිතරම මට කතා කරේ...

හැර ආ දින මා පෙර කළ රස්සාව...
ළඟටම ඇවිත් පෑවා ඇගෙ සිනා මුව...
අදින් පස්සෙ මතක තියේවිද අපිව...
ගත්තා නොම්මරේ පෙන්නා මායාව...

ශනිදා පෝයදා රවිදා තිරය මත...
කෙටි පණිවුඩ යැද සැනසුම තුරුණු වත...
මා දකින්න ඉල්ලනවලු ඇගේ හිත...
හැරදා යම් කෙසේ සුරැකූ යුවතිවත...

Friday, May 12, 2017

පරම සත්‍යය

ශිෂ්ඨාචාර ආරම්භ වුණ කාලයේ ඉඳන්ම මිනිස්සු හෙව්වෙ ජීවිතයේ පරමාර්ථය. "ඇයි?" තමා ප්‍රශ්නය. සමහරු නං හෙව්වෙ ජීවිතේ පහසු කරගන්න ක්‍රම. විද්‍යාඥයන්, නව නිර්මාණකරුවන් වුණේ එයාලා. ජීවිතයේ අරමුණ හොයපු අය හෙව්වෙ "සත්‍යය". අපි කව්ද? අපි මේ මොනවද කරන්නෙ? සතුට කියන්නෙ මොකක්ද? දුක නැති කරන්නෙ කොහොමද? ඒ අය හෙව්වෙ ඔය වගේ දේවල්. දාර්ශනිකයන්, ශාස්තෘවරුන් වුණේ ඒ අය.

ඒ කාලෙ ඉඳන්ම බුද්ධිමත් මිනිස්සු විවිධ අදහස්, තර්ක ඉදිරිපත් කළා සත්‍යය ගැන. යම් තරමකට බුද්ධියක් තිබ්බ මිනිස්සු ඒ අදහස් අනුමත කරලා පිළිගත්තා. ඒතරම් බුද්ධිමත් නොවුණු පිරිසත් අනිත් අය පිළිගත්තු නිසා පිළිගත්තා. ඔය වගේ බිහිවුණු ප්‍රධාන දර්ශන වල විශේෂත්වය වුණේ ඒ ඒ සමාජයන් වල ඒ වෙනකොට ගොඩ නගාගෙන තිබුණ දැනුම පද්ධති වලින් ඒ අදහස් ඇත්ත බව සාධනය කරන්න පුළුවන් වුණ එක, හෝ වැරදි බව සාධනය කරන්න බැරි වුණ එක. ඒ වගේම ඒ හැම දර්ශනයටම පොදු දෙයක් තිබුණා. ඒ තමයි ඒ දර්ශනය අනිත් සියල්ලටම වඩා උසස්, සහ එතනින් එහාට දෙයක් නෑ කියන එක.

කෙනෙකුට පුළුවන් වේවි සත්‍යය තේරුම් ගන්න. එයාලා අනිත් අයට ඒ දේවල් කියලත් දේවි. ඒත් එතකොට මට එන ප්‍රශ්නය මේකයි. අපි කොහොමද ඒක පිළිගන්නෙ?

අපි අපේ මට්ටමේ ඉඳගෙන, ඊට ඉහළ මට්ටමක කෙනෙක් කියන දෙයක හරි වැරදි දකින්නෙ කොහොමද? ඒ දේ වැරදි බව පෙන්නන්න පුළුවන් එයාටත් වඩා ඉහළ මට්ටමක කෙනෙක් නෑ කියල විශ්වාස කරන්නෙ කොහොමද? කවදාවත් ඒ දර්ශනය සත්‍යය නෙමේ කියල ඔප්පු නොවෙයි කියල කියන්න පුළුවන්ද? ශතවර්ෂ ගණනක් ඇත්ත කියල පිළිගත්ත දේවල් කොච්චර නම් බොරු කියල ඔප්පු වෙලා ඇත්ද? එතකොට කෙනෙකුට තමන් හරියි කියලා පිළිගත්ත දේ හරියි කියලා සීයට සීයක් විශ්වාස කරන්න පුළුවන්ද?
පරම සත්‍ය, පරම සත්‍යයම බව  ඔප්පු කරන්නෙ කොහොමද?

Monday, May 1, 2017

නිරයට ආ කැලෑ කොල්ලා

ගමෙන් නගරයට ආ තරුණයෙකුට නගරයේදී අත් විඳින්නට සිදුවූ තරඟකාරී ජීවන රටාව පාදක කොටගෙන සිව්පද ආරෙන් ලියැවුණු "නිරයට ආ කැලෑ කොල්ලා" පද්‍ය පන්තිය පාඨක සමාජයට පැහැදිලි පණිවිඩයක් යොමු කරන්නකි.
කවි පහකින් සමන්විත සමස්ථ නිර්මාණය තුළ යන්තම් කියවන්නෙකුට කිසිසේත් නොවැටහෙන නමුත් සැබෑ රස විඳින්නෙකුගේ සිත නිරුවත් කරන්නට සමත් සැඟවුණු අර්ථ බොහොමයකි.

කුඩා කල සිට අලුත් ලොවකට පාරමී පුරලා
කඩුල්ලෙන් පැන කැලෑ කොල්ලෙක් දොර විවර කරලා
නේක විසිතුරු දිවිය විමනක් දෑස් පෙම් බැඳලා
උනුන් පරයා හැල්මේ දුවනා නිර ලොවක බැසලා

තරුණයාගේ නගරාගමනය අහම්බයක් නොවේ. කුඩා කල සිටම තම අනාගතය ඇත්තේ ගමෙන් පිට බව ඔහු දැන සිට ඇත. ඔහු විසින් අනුගමනය කෙරුණු ක්‍රියා පිළිවෙළ හඳුන්වන්නට, සසර කෙළවර කරන්නට තැත් කරන ආර්යයන් වහන්සේලා විසින් පුරුදු පුහුණු කරන කුසල් සඳහා යෙදෙන "පාරමී" යන වචනය භාවිතා කිරීමෙන්ම සිය අරමුණු සපුරා ගැනීමට කුඩා කළ සිට ඔහු කළ කැප කිරීම් මොනවට පැහැදිළිය.

පාරමී පුරන්නට ඇත. නමුත් පනින්නට සිදුවූ කඩුල්ල කුමක්ද? කඩුල්ලක්, පනින්නට අමාරු නැත. නමුත් නොපැන යන්නටද නොහැක. රැකියාවකට නගරයට ආ අයෙකුට නම් බොහෝවිට සම්මුඛ පරීක්ෂණය එවැනි සංධිස්ථානයකි. නමුත්, කුඩා කල සිට තිබූ බලාපොරොත්තු අනුව රැකියාවකට සිය ගම හැර දමා ඒම බොහෝ විට වැඩිහිටියෙකු විසින් සිදු කරන්නකි. නමුත් රචකයා සිය කතා නායකයා හඳුන්වන්නට යොදන "කොල්ලා" යන යෙදුමෙන් කතා නායකයා තවමත් ළමාවිය නොඉක්මවූවකු බව හඟවයි. එසේ නම් කඩුල්ල, සම්මුඛ පරීක්ෂණයක් නොව කඩයිම් විභාගයක් වියයුතුය. ඒ වෙනුවෙන්ම කැප කිරීම් කළ අයෙකුට එය කඩුල්ලක්ම මිස එතරම් අමාරු දුර්ගයක් නොවේ.

නගරය දිව්‍ය විමානයක් ලෙස දැක කොතරම් ආසාවෙන් පැමිණියද, තරඟකාරීත්වයට හසුවූ ඔහුට දැන් එය නිරයක් බව ද කවියා පවසයි.

සතර අත වෙත වනන්නට නෑ කඩුව ඔහු දෑතේ
දුබලයා හට කෙසේවත් නැත මෙහි ඉඩක් ඇත්තේ
හිවල් රැලකගෙ කුයිල ආවත් බලන හැම පැත්තේ
නිවට බියගුළු වන්න සිත් නෑ නගුල හුරු දෑතේ

තමන්ට ඉංග්‍රීසි එතරම් හුරු නැත. තම ඉංග්‍රීසි හැකියාව දුබලය. දුබලයාට මෙහි තැනක්ද නැත. කෙනෙහිලිකම්ද බොහෝය. නමුත් අතාරින්නට සිතක් නැත. වෙහෙසට ඔරොත්තු දෙන තම දෑත ඇති තාක් සිතේ බියක්‌ ද නොමැත.

තැබූ බර පිට රිදුම් දේ නම් අනේ ගැල යනවා
බෙරය ගලවනු නොහැකි වේ නම් බෙර තාල එනවා
එලෙස සිතනා රුදුරු සේනා දනා වෙහෙසනවා
උනුන් ඇස නොගැටී සිටින්නන් මෙහි කොහේ නැතිවා

නගරයේදී ඔහුට අත්විඳින්නට සිදුවන පීඩා බොහෝය.
පීඩිතයන් තවත් පීඩාවට පත් කරන පාලක පන්තිය ඔවුන්ගෙන් වැඩගනිති. ගොනා ගැල අදින්නේ හැකි ඉක්මණින් බරෙන් නිදහස් වීමේ අරමුණෙනි. බෙරය බැඳගත්තා නම් ගලවන්නට පෙර තාල වයන්නටම සිදුවේ. ඒ බව දත් පාලකයින් ඔවුන්ට උපරිම වැඩ පවරති. මෙහි පැමිණි කිසිවෙකුටත් ඉන් බේරුමක් නොමැත. තරුණයා තම දුක කියන්නේ එසේය.

තම තරුණ කාලය අපායක ගත කරන්නට සිදුවීම අභාග්‍යයකි. ළමා කල පාසැලේ නිදහසේ දුව පැන ගතකළ කාලය සිහිනයක් මෙනි. විටෙක මෙයින් මිදී යන්නටද සිතේ. නමුත් පුතා සිදාදියේ ලොකු මනුස්සයෙක් වී සිටිනු දැක්මට පුල පුලා බලා සිටින අම්මාගේ සිත රිදවන්නට නොහැක. ඇගේ සිතට ඒ බලාපොරොත්තු ලබා දුන්නේද ඔහුය. කරන්නට අන් කිසිවක් නැත. දිගටම මේ දුක විඳිය යුතුය.

තුරුණු වයසත් ගෙවිලා යනවා ඔහු තවම නිදි නිරි වළේ
දුවන්නයි සිත පැනල හනිකට වගේ පෙර කල පාසලේ
කෙලෙස යන්නද මවගෙ සිහිනත් මමනෙ මේ තුළ සිර කලේ
කියාගෙන ඔහු හෙට උදේටත් විඳිනවා දුක් සීතලේ

අද මේ දුක, හෙට සැප විඳින්නට බව ඔහුගේ අදහසයි.

සිව්පද කවියක අලංකාරය විදහා දක්වන ප්‍රධාන ලක්ෂණ කිහිපයකි. තාලය, අර්ථය සහ යොදාගත් භාෂාව ඒ අතරින් මුල් තැනක් ගනී. පද්‍ය පන්තිය පුරාම එළිසමය නිවැරදිව පවත්වාගැනීමට කවියා සමත්ව ඇත. "කුඩා කල සිට" ලෙස ආරම්භ වන කවි පන්තිය "විඳිනවා දුක් සීතලේ"ලෙස වන අවසානය දක්වාම පදයෙන් පදය එකිනෙකට ගැළපෙන පරිදි තාලය ගලා යන ලෙස නිවැරදි ව්‍යුහයක් ගොඩනගා ගැනීමට පමණක් නොව  ඕනෑම දැනුම පරාසයක රසිකයෙකු හට පහසුවෙන් අවබෝධ කරගත හැකි භාෂා ශෛලියක් යොදාගැනීමට ද කතෘ දක්වා ඇති දක්ෂතාවය අති විශිෂ්ටය.

ජීවිතය පුදුමාකාරය. අනාගතය අවිනිශ්චිතය. වෙනස්වීම් බොහෝය. මිනිසුන් ලෙස අප ඒ සියල්ලට මුහුණ දිය යුතුය. එය ලෙහෙසි පහසු කර්තව්‍යයක් නොවේ. විවිධ සමාජ තල වල හැදී වැඩුණු පුද්ගලයන්, පොදු සමාජයට නිරාවරණය වූ කල ඊට හැඩ ගැසීමට දරන්නා වූ අරගලය සුළුපටු නැත. සමහරු එයට මුහුණ දී ගත නොහැකිව අතරමං වෙති. සමහරෙක් එය අභියෝගයක් ලෙස භාරගෙන ඉදිරියට යති. මෙහි එන කතා නායකයා මින් කුමන පිරිසට අයත්ද යන්න තීරණය කිරීම රසිකයන්ට භාරය.

කවි පන්තියේ පළමු පදය දුටු අයෙකුට, එතැනින් නැවතිය නොහැකි අතර, එතැන් සිට අවසන් පදය දක්වා කියවා අවසන් වන විට ඔහුගේ සිතේ නිතැතින්ම මතුවන පැන දෙකකි. පළමුව, තමන්ට කවියාගේ අදහස නිවැරදිව අවබෝධ වූවාදැයි තමාගෙන්ම විමසන ඔහු කවි පන්තිය නැවතත් විශ්ලේෂණාත්මක මනසින් රසවිඳින්නට පෙළඹෙනු ඇත. මෙලෙස දෙතුන් වතාවක් මුල සිට අගට මෙම කවි පන්තිය රස විඳින ඔහු ඉන්පසුව තම දෙවැනි පැනය, පිළිතුරක් සොයා ගත නොහැකිව යටපත් කර දමනු ඇත.

"මෙහි රචකයා සහ කතා නායකයා යන දෙදෙනාම එක් අයෙක් ද, එනම් කැලෑ කොල්ලා, Chanaka Dineshම ද?