ශිෂ්ඨාචාර ආරම්භ වුණ කාලයේ ඉඳන්ම මිනිස්සු හෙව්වෙ ජීවිතයේ පරමාර්ථය. "ඇයි?" තමා ප්‍රශ්නය. සමහරු නං හෙව්වෙ ජීවිතේ පහසු කරගන්න ක්‍රම. විද්‍යාඥයන්, නව නිර්මාණකරුවන් වුණේ එයාලා. ජීවිතයේ අරමුණ හොයපු අය හෙව්වෙ "සත්‍යය". අපි කව්ද? අපි මේ මොනවද කරන්නෙ? සතුට කියන්නෙ මොකක්ද? දුක නැති කරන්නෙ කොහොමද? ඒ අය හෙව්වෙ ඔය වගේ දේවල්. දාර්ශනිකයන්, ශාස්තෘවරුන් වුණේ ඒ අය.
ඒ කාලෙ ඉඳන්ම බුද්ධිමත් මිනිස්සු විවිධ අදහස්, තර්ක ඉදිරිපත් කළා සත්‍යය ගැන. යම් තරමකට බුද්ධියක් තිබ්බ මිනිස්සු ඒ අදහස් අනුමත කරලා පිළිගත්තා. ඒතරම් බුද්ධිමත් නොවුණු පිරිසත් අනිත් අය පිළිගත්තු නිසා පිළිගත්තා. ඔය වගේ බිහිවුණු ප්‍රධාන දර්ශන වල විශේෂත්වය වුණේ ඒ ඒ සමාජයන් වල ඒ වෙනකොට ගොඩ නගාගෙන තිබුණ දැනුම පද්ධති වලින් ඒ අදහස් ඇත්ත බව සාධනය කරන්න පුළුවන් වුණ එක, හෝ වැරදි බව සාධනය කරන්න බැරි වුණ එක. ඒ වගේම ඒ හැම දර්ශනයටම පොදු දෙයක් තිබුණා. ඒ තමයි ඒ දර්ශනය අනිත් සියල්ලටම වඩා උසස්, සහ එතනින් එහාට දෙයක් නෑ කියන එක.
කෙනෙකුට පුළුවන් වේවි සත්‍යය තේරුම් ගන්න. එයාලා අනිත් අයට ඒ දේවල් කියලත් දේවි. ඒත් එතකොට මට එන ප්‍රශ්නය මේකයි. අපි කොහොමද ඒක පිළිගන්නෙ?
අපි අපේ මට්ටමේ ඉඳගෙන, ඊට ඉහළ මට්ටමක කෙනෙක් කියන දෙයක හරි වැරදි දකින්නෙ කොහොමද? ඒ දේ වැරදි බව පෙන්නන්න පුළුවන් එයාටත් වඩා ඉහළ මට්ටමක කෙනෙක් නෑ කියල විශ්වාස කරන්නෙ කොහොමද? කවදාවත් ඒ දර්ශනය සත්‍යය නෙමේ කියල ඔප්පු නොවෙයි කියල කියන්න පුළුවන්ද? ශතවර්ෂ ගණනක් ඇත්ත කියල පිළිගත්ත දේවල් කොච්චර නම් බොරු කියල ඔප්පු වෙලා ඇත්ද? එතකොට කෙනෙකුට තමන් හරියි කියලා පිළිගත්ත දේ හරියි කියලා සීයට සීයක් විශ්වාස කරන්න පුළුවන්ද?
පරම සත්‍ය, පරම සත්‍යයම බව ඔප්පු කරන්නෙ කොහොමද?
No comments:
Post a Comment